Language Switcher

V2025

ධානිෂ් අලී ඇතුළු සැකකරුවන් 07කට ඇප

ජනාධිපති මන්දිරයට අයුතු ලෙස ඇතුළු වීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ධානිෂ් අලි ඇතුළු සැකකරුවන් 07ක් අද (26) ඇප මත මුදා හැර තිබේ.

ඒ, කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ  නිකුත් කළ නියෝගයකට අනුවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස නම් කර සිටින ළහිරු වීරසේකර හා තවත් සැකකරුවෙක් අද අධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුව ඔවුන් ද රුපියල් ලක්ෂ 05ක ශරීර ඇප 02ක් මත මුදා හැරිණි.

තව ද ජනාධිපති මන්දිරයට අයුතු ලෙස ඇතුළු වී එහි තිබූ ඇඳ ඇතිරිල්ලක් සොරාගත් බවට අද අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවෙක් ලබන මස 09 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.

මේ අතර අද දින ඇප නියම වූ සැකකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කරමින් නියෝගයක් ද නිකුත් කර තිබේ.

සැකකරුවන්ට නියෝග කළේ, ඇප තැබීමෙන් පසු සෑම මසකම අවසන් ඉරිදා කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට වාර්තා කරන ලෙසයි.

ජනාධිපති මන්දිරයට අයුතු ලෙස ඇතුළු වී එහි දේපොළවලට අලාභහානි කිරීම ඇතුළු චෝදනා මත මේ වනවිට කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් සැකකරුවන් තිස්හය දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් සැකකරුවන් තිස්පස් දෙනෙක් මේ වනවිට ඇප මත මුදා හැර තිබේ.

පියත් නිකේෂල, ගරු ජීවන්ත පීරිස් පියතුමා ඇතුළු පෙර ඇප නියමව සිටි සැකකරුවන් ද අද අධිකරණය හමුවේ පෙනී සිටියේ ය.

මේ අතර අග්‍රාමාත්‍ය කාර්යාලයට අයුතු ලෙස ඇතුළු වී එහි දේපොළවලට හානි කිරීමේ සිද්ධියක් සම්බන්ධව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයකු වූ පියත් නිකේෂල හා බලංගොඩ කාශ්‍යප හිමියන් රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඒ, කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ  හමුවේ එම නඩුව විභාගයට ගත් අවස්ථාවේදීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකපිට අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කළ ඇප ඉල්ලීම් සලකා බැලු මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් ඇප මත මුදා හැරීමට නියෝග කර සිටියේ ය.

නඩුව යළි ලබන ඔක්තෝම්බර් මස 12 වැනි දා කැඳවීමට නියමිතය.