Language Switcher

V2025

අරගලය අස්සේ : කොඩි උස්සලා චොර වෙලා !

ජනාධිපති මන්දිරයට පසුගිය ජූලි 09 වෙනිදා කඩා වැදුණු අරගලකරුවන් අතර සිටි කඩුවෙල නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් ජනපති ධජ දෙකක් සොරා ගැනීමක් සම්බන්ධයෙන් පොලීසිය අද(28) අත්අඩංගුවට ගෙන ඇත.

කොළඹ වරාය ආරක්ෂක අංශයේ සේවකයෙක් වන මෙම සැකකරු කොළඹ වරාය අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙක් ලෙස ද 2019 වසරේ කෙටි කලක් කටයුතු කර ඇති බවත් වාර්තා වෙයි .

ඔහු වරාය අධිකාරීයේ ජාතික සේවක සංගමයේ සභාපතිවරයා ලෙසද කටයුතු කර ඇති අතර මේ වන විට සජබයට සම්බන්ධ වරාය වෘත්තීය සමිතියේ උප සභාපතිධූරය දරන බව පොලිස් විමර්ශන වලින් අනාවරණය වී ඇත.

ජනපති මන්දිරයෙන් ජනපති ධජ දෙකක් සොරාගත් මොහු ජනාධිපති ධජයක් වරායේ සේවක කාමරයකට රැගෙන ගොස් ඇඳක් මත එලා ඒ මත ඇලවී එම ධජය පුළුස්සා දමන බව පවසමින් ප්‍රකාශයක්කර එය සමාජ මාධ්‍යවෙත මුදා හැර තිබුණි.

ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ පොලීසිය ඔහුව අත්අඩංගුවට ගැනීමට සූදානම්වන විට ඔහු නීතීඥවරයෙකු මගින් වේල්ලවීදිය පොලිස් ස්ථානයට පැමිණ භාරවී තිබුණි.

ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු පවසා ඇත්තේ එක් ධජයක් පුළුස්සා දැමූ බවය. තවත් ධජයක් සිය සහෝදරියගේ මාළඹේ පිහිටි නිවසේ ඇති බව ප්‍රකාශ කර තිබේ. ඒ අනුව පොලීසිය එම ධජය සහෝදරියගේ නිවසේ අල්මාරියක් පිටුපස බෑගයක දමා සඟවා තිබියදී පොලීසිය සොයාගෙන ඇත.

මෙවැනිම ආකාරයේ තවත් ධජයක් ජනාධිපති මන්දිරයෙන් සොරාගෙන එය සරමක් ලෙස ඉනට ඇදගෙන මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙක් සම්බන්දයෙන්ද පොලීසිය විමර්ශන ආරම්භකර තිබේ. පුද්ගලික ආයතනයක සේවයේ නිරතව සිටින පුද්ගලයෙක් වන ඔහු අලුත්ගම පදිංචිකරුවෙක් බවට පොලීසියට තොරතුරු ලැබී ඇත.