Image

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම්වරයා ගේ නඩුව; කරුණු තහවුරු කිරීම ජූලි 20වන දා

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම්වරයා ගේ නඩුව; කරුණු තහවුරු කිරීම ජූලි 20වන දා

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න ගේ බලපෑම මත නීතිවිරෝධී සහ අත්තනෝමතික ලෙස පරිපාලන නීතියේ හා ස්වාභාවික යුක්ති මූලධර්මවලට පටහැනිව තම සේවය අත්හිටුවීමට විරුද්ධව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් නීතීඥ චමින්ද කුලරත්න විසින් අභියාචනාධිකරණය හමුවේ පවරන ලද නඩුව අද දින (19) අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ විනිසුරු කේ.පී. ප්‍රනාන්දු ඉදිරියේ කැඳවන ලදී.

චමින්ද කුලරත්න මෙම නඩුව ගොනු කර ඇත්තේ පාර්ලිමේන්තුවේ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න විසින් තමා සම්බන්ධයෙන් ඇති කරගන්නා ලද ද්වේශ සහගතභාව හේතුවෙන් නීතිවිරෝධී ආකාරයෙන් පත්කරන ලද පරීක්ෂණ නිලධාරියෙකු ගෙන් සාවාද්‍ය තොරතුරු ඇතුළත් වාර්තාවක් ලබාගෙන එකී වාර්තාවේ කරුණු මත පදනම්ව පරිපාලන නීතියේ හා ස්වාභාවික යුක්තියේ මූලධර්මවලට පටහැනි ආකාරයෙන් අනීතික ලෙස තමා වැඩ තහනමට ලක් කරන ලද බව සඳහන් කරමිනි.

පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා ගේ බලය තමා වෙත පවරාගෙන කථානායකවරයා විසින් පත්කරන ලද විමර්ශන නිලධාරියා ගේ පත්වීම සහ එකී විමර්ශන නිලධාරියා විසින් කථානායකවරයා ගේ පෞද්ගලික අවශ්‍යතාව මත ඉදිරිපත් කර ඇති සාවද්‍ය වාර්තාව බලරහිත කරන ලෙසත්, ඒ අනුව නීතිවිරෝධී ආකාරයෙන් සිදු කළ තම වැඩ තහනම ඉවත් කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙසත්, චමින්ද කුලරත්න මෙම පෙත්සම මඟින් අභියාචනාධිකරණයෙන් ඉල්ලා ඇත.

මෙහි දී පෙත්සම්කාර නියෝජ්‍ය මහ ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන විසින් පෙත්සම තහවුරු කිරීම සඳහා කරුණු දැක්වීමට සූදානම් බව අධිකරණයට දැනුම් දෙන ලදී. එහි දී දෙවන වගඋත්තරකරු වන කථානායකවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ කේ. කනගඊශ්වරන් විසින් ප්‍රකාශ කරන ලද්දේ මෙම පෙත්සම විභාගයට ගැනීමට විරුද්ධව දෙවන වගඋත්තරකරු වන කථානායක ජගත් වික්‍රමරත්න වෙනුවෙන් මූලික විරෝධතා පිළිබඳ කරුණු දැක්වීමට තමා අදහස් කරන බවයි.

මීට පෙර අවස්ථාවක දී මෙම නඩුවේදී කථානායකවරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිපතිවරයා විසින් අභියාචනාධිකරණය හමුවේ ප්‍රකාශ කරන ලද්දේ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම්වරයා ගේ වැඩ තහනම සිදුකිරීම නිසි ක්‍රියාපටිපාටියකට අනුව සිදුකර නොමැති බැවින් මෙම නඩුව සමථයකට පත්වීමට යෝජනා කරන බවයි. එහෙත් වගඋත්තරකාර කථානායකවරයා සමතයකට එකඟ නොවූ බැවින් නීතිපතිවරයා කිසිඳු පාර්ශ්වයකට රජය වෙනුවෙන් ඉදිරිපත් නොවන බව ප්‍රකාශ කරන ලදී. ඒ අනුව, නීතිපතිවරයා මෙම නඩුවේ කිසිඳු පාර්ශ්වයක් වෙනුවෙන් පෙනී නොසිටී.

මේ අනුව පෙත්සම්කාර නියෝජ්‍ය මහ ලේකම්වරයා වෙනුවෙන් පෙත්සමේ කරුණු තහවුරු කිරීම සඳහා ජූලි මස 20 වන දින අභියාචනාධිකරණය හමුවේ පෙත්සම කැඳවීමටත්, ඉන් අනතුරුව මූලික විරෝධතා ඉදිරිපත් කිරීමටත් නියම කළේ ය.

මෙහීදී අනෙකුත් වගඋත්තරකාර පාර්ශ්ව වෙනුවෙන් ජනාධිපති නීතීඥ අලි සබ්රි, ජනාධිපති නීතීඥ උදිත ඉගලහේවා, ජනාධිපති නීතීඥ සංජේ රාජරත්නම්, ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා, ජනාධිපති නීතීඥ කුවේර ද සොයිසා සහ ජනාධිපති නීතීඥ තිසත් විජේගුණවර්ධන ඇතුළු නීතීඥ මණ්ඩලයක් පෙනී සිටිති.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න