2019 වසරේ පාස්කු ඉරු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සිදු කරන විමර්ශන දේශපාලන ප්‍රතිවාදිතා හෝ භූ-දේශපාලන න්‍යාය පත්‍ර වෙත යොමු නොකළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
විශ්වාසනීය පරීක්ෂණයක් සඳහා සහාය දක්වනවා
සිය X ගිණුමෙහි සටහනක් තබමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ වර්තමාන රජය බලයට පැමිණියේ පාස්කු ඉරු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පීඩාවට පත් වූ වින්දිතයන්ට සහ ඔවුන් ගේ පවුල්වලට යුක්තිය ඉටු කරන බවට පොරොන්දු වෙමින් බව ය. එහෙත් එම පරික්ෂණවල වර්තමාන ප්‍රගතිය අනුව එම පොරොන්දුව ඉටු කරන්නේ ද සහ විමර්ශනයේ විශ්වාසනීයත්වය රැකෙන්නේ ද යන්න පිළිබඳ බරපතළ ප්‍රශ්න මතුවන බව ද ඔහු සඳහන් කර ඇත. සාධාරණ, විනිවිදභාවයෙන් යුතු සහ පක්ෂපාතී නොවන විමර්ශනයකට තමා විරුද්ධ නොවන බවත්, එවැනි විශ්වාසනීය පරීක්ෂණයක් සඳහා තමා දැඩිව සහාය දක්වන බවත් මන්ත්‍රීවරයා සඳහන් කර ඇත.
“මෙම කුරිරු ත්‍රස්තවාදී ක්‍රියාව පිටුපස සිටින සැබෑ කුමන්ත්‍රණකරුවන් හඳුනාගෙන නීතිය අනුව දඬුවම් ලබාදිය යුතු බව අප දැඩිව විශ්වාස කරමු,” යැයිද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.
සලේ ජාතික ආරක්ෂාවට කළ සේවය ප්‍රශංසනීය යි
මේ අතර, මේජර් ජෙනරල් සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා සඳහන් කර තිබුණේ, ඔහු ශ්‍රී ලංකා රාජ්‍ය බුද්ධි සේවය හි සේවය කළ ගෞරවනීය හමුදා නිලධාරියකු බව ය. රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ දශක තුනකට ආසන්න කාලයක් පැවති ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා ශ්‍රී ලංකාව ගෙන ගිය සටනේ දී වැදගත් භූමිකාවක් ඉටු කළ බවත් එහි සඳහන් කර ඇත. ඔහු ජාතික ආරක්ෂාවට කළ සේවය ප්‍රශංසනීය බව සඳහන් කර ඇති මන්ත්‍රීවරයා, කෙසේ වෙතත් කාලයත් සමග ම ඔහු පාස්කු ප්‍රහාරවලට සම්බන්ධ කර පසුගිය කාලයේ ව්‍යාජ මත සහ දේශපාලන බලපෑම් සහිත කතා නිර්මාණය වී ඇති බවද සඳහන් කර ඇත.
ඒ අතරතුර,අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් වගකීම් පැහැර හැරි පුද්ගලයින්ට එම මට්ටමේම විමර්ශන සිදු වී නොමැති බව ද ඔහු සඳහන් කර තිබුණි. තවද, නිල කොමිෂන් වාර්තා තුළ නොසැලකිල්ල පිළිබඳ සඳහන් වූ සමහර පුද්ගලයින් පසුව වර්තමාන රජය සමග එකතුවී ඇති අතර, ඔවුන්ට උසස් තනතුරු ලබා දී ඇති බවත්, ඔවුන් අතරේ සුරේෂ් සලේ පිළිබඳව පමණක් විශේෂයෙන් ඉලක්ක කරමින් විමර්ශන සඳහා යොමු කර ඇති බවත් ඔහු සඳහන් කර ඇත.

