Language Switcher

V2025

05/09 ප්‍රතිප්‍රහාරයේ චෝදනා : ජවිපෙ අමුවෙන්ම පොලිස්පති අමතලා !

05/09 පරීක්ෂණවලදී අපක්ෂපාතීභාවය ආරක්ෂා කර ගන්නැයි ජනතා විමුක්ති පෙරමුණ පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙත අවධාරණය කර ඇත.

ඒ ආණ්ඩුවේ ඇතුළු පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන් 05/09 ප්‍රහාරය සම්බන්ධයෙන් ජවිපෙ ඈඳා පොලිස්පති පවා උපුටා දක්වමින් එල්ල කළ චෝදනා ගැන කරුණු පැහැදිලි කරගන්නට පොලිස්පති හමුවී සිදුකළ සාකච්ඡාව අවස්ථාවේ ය.

අද (23) එම සාකච්ඡාව සඳහා ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත් , හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති , නීතිඥ හර්ෂණ නානායක්කාර සහ නීතිඥ සුනිල් වටගල සහභාගීවී ඇත .

සාකච්ඡාවෙන් පසුව මාධ්‍ය අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මෙසේ පැවසීය .

5/9 මිලේච්ජ ප්‍රහාරය පොහොට්ටු කල්ලියක වැඩක් !

පසුගිය 09 වැනිදා උදෑසන අරලියගහ මන්දිරය ඉදිරිපිට හා ගොල්ෆේස් පිට්ටනියේ සාමකාමී අරගලයේ හිටපු අයට ම්ලේච්ඡ ලෙස පහර දෙනු ලැබුවා. ඒ පහරදීම කළේ පොදුජන පෙරමුණේ ත්‍රස්තවාදී කල්ලියක්. ඉන් පසුව 09වැනිදා සවස රට පුරා උද්ඝෝසණ පැවැත්වුණා. ඒ වගේම රාත්‍රිය වන විට බොහෝ තැන්වල ප්‍රචණ්ඩ ක්‍රියා ඇති වුණා. ගෙවල් ගිනි තැබීම්, විනාශ කිරීම් සිදු වුණා. මේ සිදුවීම් පිටුපස ජනතා විමුක්ති පෙරමුණ ඉන්න බව කියන්න පහුගිය දවස්වල ආණ්ඩුවේ ඇතැම් මන්ත්‍රීවරුන් හා ඇමතිවරුන් විශාල උත්සාහයක් දැරුවා. ඔවුන් විවිධ අභූත චෝදනා නැගුවා. කිසිදු සාක්ෂියක් තොරතුරක් නැතිව ඒ සියල්ල ජනතා විමුක්ති පෙරමුණ මත පැටෙව්වා. මේ කරුණවල සත්‍ය අසත්‍යතාව දැනගන්න අපට අවශ්‍ය වුණා.

පොලිස්පතිගෙන් දැනගත් දේවල් මෙන්න !

මේ සිදුවීම්වලට අදාළව ජනතා විමුක්ති පෙරමුණේ අය අත්අඩංගුවට ගෙන තිබෙනවාද, චෝදනා තිබෙනවාද, අනෙකත් දේශපාලන පක්ෂවල අය අත්අඩංගුවට ගෙන තිබෙනවාද, ඔවුන්ට චෝදනා එල්ල කර තිබෙනවාද කියන කරුණු පොලිස්පතිවරයාගෙන් දැනගන්න අපට අවශ්‍ය වුණා. මේ සිදුවීම්වලට අදාළ චෝදනා ලැබූ බහුතරයක් අපේ පක්ෂයට සම්බන්ධ අය නොවන බව පැහැදිලි වී තිබෙනවා. පොලිස්පතිවරයා ඇතුළු නිලධාරීන්ගෙන් ලැබුණු වාර්තා අනුව මේ අත්අඩංගුවට ගත් අයගෙන් වැඩි පිරිස ජවිපෙට කිසිදු සම්බන්ධයක් නැහැ. ඔවුන් වෙනත් දේශපාලන පක්ෂවලට සම්බන්ධකම් හා බැදීම් ඇති අයයි; ඍජුවම සම්බන්ධකම් ඇති අයයි.

නමුත් පසුගිය දිනවල පාර්ලිමේන්තුවේදී විවිධ ඇමතිවරුන් නම් ප්‍රකාශ කරමින් අපේ පක්ෂයට චෝදනා එල්ල කළා. මේ චෝදනා සම්පූර්ණ අසත්‍යයක්. පොලිස්පතිවරයා සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් කිහිපදෙනෙක් සමග පැවති සාකච්ඡාවේදී මෙය නිරවුල් කරගැනීමට අපට අවස්ථාව ලැබුණා. ඔවුන් විසින් පොලීසිය විසින් අත්අඩංගුවට ගත් පිරිස්වල සංඛ්‍යාත්මක දත්ත ඉදිරිපත් කළා. එතැනදී කිසිදු දේශපාලන භේදයක් නැතිව එම සිදුවීම්වලට සම්බන්ධ අය අත්අඩංගුවට ගන්නා බව ඔවුන් ප්‍රකාශ කළා. යම් තැනක වැරදි ලෙස අත්අඩංගුවට ගැනීම් සිදු වී තිබෙනවානම්, විශේෂයෙන් ඇමතිවරුන්ගේ මන්ත්‍රීවරුන්ගේ ලයිස්තුවලට අත්අඩංගුවට ගැනීම් සිදු වී තිබේනම් ඒ පිළිබඳව පරීක්ෂණ කරන්නත් ඔවුන් එකඟ වුණා. මේ අවස්ථාවේදී ඇතැම් අය පෞද්ගලික පළිගැනීම් මත, දේශපාලන පළිගැනීම් මත අපේ පක්ෂයේ සාමාජිකයන් දඩයම් කිරීම ඉලක්ක කර ගනිමින් ඇතැම් දේ සිදු වෙමින් තිබෙන බව අප පෙන්වා දුන්නා. ඒ පිළිබඳවත් සොයා බලන්න ඔවුන් එකඟ වුණා. පොලීසියේ අපක්ෂපාතීභාවය ආරක්ෂා කර ගැනීමේ අවශ්‍යතාව අපි අවධාරණය කළා. මීට අදාළ පරීක්ෂණ කටයුතු අපක්ෂපාතව සිදු කරන බවට පොලිස්පතිතුමා ඇතුළු පොලීසිය පාර්ශ්වයෙන් සහතිකයක් දුන්නා.

ප්‍රචණ්ඩ ක්‍රියා වලට සම්බන්ධ නම් නීතිය ක්‍රියාත්මක කරන්න !

ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ වූවන් සම්බන්ධව දේශපාලන භේදයෙන් තොරව නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් අභූත චෝදනා ඉදිරිපත් කිරීමට ඉඩ නොතබන ලෙසත් අපි මෙහිදී ඉල්ලා සිටියා. ජනතා විමුක්ති පෙරමුණ මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියාවලට අදාළ තින්දු ගෙන නොමැති බවත් ජවිපෙ සාමාජිකයන් දේශපාලන තීන්දුවක් මත එවැනි කිසිදු ක්‍රියාවකට සම්බන්ධ වී නොමැති බවත් අපි අවධාරණය කළා. ඒ වගේම ආණ්ඩුවේ ඇමතිවරුන් මන්ත්‍රීවරුන් විසින් ව්‍යාප්ත කිරීමට උත්සාහ දරන වැරදි මත වෙනස් කිරීමට මැදිහත් වන ලෙස අපි පොලීසියෙන් ඉල්ලා සිටියා.

ඕනෑම දෙයක් අපෙන් අහන්න. අපට හංඟන්න දෙයක් නැහැ :
ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති

Sunil Handunnetti 2022.05.23 1දැනට ඇති සිද්ධි හා තොරතුරු ඇතුළුව, අපට අභූත චෝදනා නගන්න, දේහපාලන වශයෙන් මඩගහන්න පාවිචිචි කර තිබෙන තොරතුරු අප විසින් පොලීසියට ඉදිරිපත් කළා. එම තොරතුරු ලිඛිතවත් භාරදීමට සූදානම් බව අපි පෙන්වා දුන්නා. විශේෂයෙන් පසුගියදා වැලිගමදී ඩීසල් බෙදාහැරීමට බාධා කිරීමට ජවිපෙ වැලිගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් කටයුතු කළ බවට කාන්චන විජේසේකර තෙල් ඇමතිවරයා මාධ්‍ය හමුවක් පවත්වා ප්‍රකාශ කළා. මේ සිදුවීමට අදාළ සත්‍ය අසත්‍යතාව පරීක්ෂා කරන ලෙස අපි පොලීසියෙන් ඉල්ලුවා. ඒ අවස්ථාවේදීත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් මට කතා කරලා අපේ මන්ත්‍රීවරයෙක් මෙසේ බාධා කිරීමක් කරන්නේදැයි ඇහුවා. එවැනි තත්වයක් කොහෙත්ම නැති බවත් රටේ පවතින සාමාන්‍ය පරිපාලනයට බාධා කිරීමට අපට කිසිදු වුවමනාවක් නැති බව මම ඔහුට කිවුවා. අපේ ප්‍රාදේශීය සභා මන්ත්‍රවරයාත් සිටියේ තෙල් පෝලිමේයි. මීට අදාළ වීඩියෝ තියෙනවා. එහි මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයායැයි හිතාගෙන කතා කරන්නේ වෙනත් අයෙකුටයි. ඔහු රතු ටී ෂර්ට් එකක් ඇඳි කෙනෙක්. කෙනෙක් රතු ටී ෂර්ට් එකක් ඇඳ ගත් පමණින් කෙනෙක් ජේවීපී වෙන්නේ නැහැ. එයවත් නොතේරෙන ලෙස කටයුතු කර අවසානයේ රටේ කඩාකප්පල් වැඩ කරන්න යන්නේ ජේවීපී එක බවට මාධ්‍ය තුළ මතයක් හදන්න හදනවානම් එය මුළුමනින්ම වැරදියි. එය නිවැරදි කිරීමට අප මැදිහත්වනවා වගේම එම වගකීම ආරක්ෂා කිරීම නීතිය රකින අයට තිබෙනවා.

අපි පොලිස්පතිතුමාගෙන් ඉල්ලා සිටියේ ඕනෑම සිදුවීමක් පිළිබඳව ඍජුව අපගෙන් විමසන ලෙසයි. අපට හංගන්න කිසිවක් නැහැ. එම සිදුවීමේදීත් ඉතාම පැහැදිලි ලෙස අපට මඩ ගහන්න එය පාවිච්චි කර ගත්තත් රටේ තෙල් බෙදා හැරීම අඩපණ කරන්න හෝ වෙනත් පරිපාලන බිඳවැටීමක් කරන්න අපට කිසිදු අවශ්‍යතාවක් නැහැ. අපි ඒ බව පොලිස්පතිතුමාට අවධාරණය කළා.

මේ සිදුවීම් පාවිච්චි කර ගෙන කවුරු හරි නැවත ඉතිහාස කතාවක් හදන්න හදනවානම් ඒකට නීතිය ආරක්ෂා කරන පොලිස් නිලධාරීන් ගාවගන්න ඉඩ තියන්න එපා කියලා අපි පොලිස්පතිතුමාට අවධාරණය කළා. අපිට වගේම පක්ෂ භේදයෙන් තොරව සාධාරණත්වය ඉෂ්ට කිරීම වෙනුවෙන් පොලිස්පතිතුමාටත් වගකීමක් තියෙනවා. එවැනි සාධාරණ ඕනෑම පරීක්ෂණයකට සහයෝගය ලබා දෙන්න අපි සූදානම්. ඒ සහයෝගය ලබාදෙන්නේ මේ රටේ යුක්තිය, නීතියේ සාධාරණත්වය අපේක්ෂා කරන, නීතියේ ආධිපත්‍යය රැකීමට අවශ්‍ය බව විශ්වාස කරන ජනතාව වෙනුවෙනුයි. එදත් 09වැනිදා ජනතාව පාරට ආවේ අවනීතික ක්‍රියාවට එරෙහිවයි. ඔවුන් ප්‍රතිචාර දැක්වූයේ අශිෂ්ට ක්‍රියාවට එරෙහිවයි. ඒ පිළිබඳව කරනු ලබන පරීක්ෂණයකදී අපක්ෂපාතීත්වය ආරක්ෂා කරන්න පොලිස්පතිතුමාට වගකීමක් තියෙනවා.