Language Switcher

V2025

කාන්තා දිනයදා : ලක්වනිතාවන් පාර්ලිමේන්තු වටරවුම වටළයි !

වත්මන් ආණ්ඩුවේ පීඩාකාරී සහ නොහික්මුණු හැසිරීමට එරෙහිව, එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ , එක්සත් ලක්වනිතා පෙරමුණ පාර්ලිමේන්තු වටරවුමේ විරෝධතා උද්ඝෝෂණයක් සංවිධානය කර ඇත.

වාර්තා වන ආකාරයට මෙම විරෝධතා උද්ඝෝෂණය ජාත්‍යන්තර කාන්තා දිනය යෙදෙන මාර්තු 08 වනදා පැවැත්වීමට නියමිතව තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එක්සත් ලක්වනිතා පෙරමුණේ සභාපතිනී, ශාන්තිනී කෝන්ගහගේ පවසා සිටියේ, දේශපාලන පාට, පක්ෂ භේදයකින් තොරව රාජ්‍ය , පෞද්ගලික අංශයේ සහ නිදහස් වෙළෙඳ කළාප වල සේවය කරන කාන්තාවන් මෙන්ම සියලු කාන්තාවන්ගේ නියෝජනය මේ සඳහා අපේක්ෂා කරන බවයි.

එහිදී අදහස් දක්වමින් ඇය වැඩිදුරටත් මෙසේද සඳහන් කළාය.

" ජාත්‍යන්තර කාන්තා දිනය සමරන්න නෙවෙයි මේ වෙනකොට මෙරට කාන්තාවන්ට සිදුවෙලා තියෙන්නේ. සියල්ල අහිමිකර උදුරා ගත්තට පස්සේ මොනවද සමරන්න තියෙන්නේ ? අපට අද සමරන්න දෙයක් නෑ. අපට මතකයි, පළාත් පාලන ආයතන තුළ 25% ක කාන්තා නියෝජනය සඳහා අවස්ථාව සැලසීම සිදුකළේ, යහපාලන ආණ්ඩුව තුළ , හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගේ මැදිහත්වීම තුළ. නැත්නම් ඒ තරම් ප්‍රතිශතයක කාන්තා නියෝජනයක් කවදාවත් සිදුවෙන්නේ නෑ. මොකද අතිශය බහුතරයක් කාන්තාවන්ට මැතිවරණ සඳහා වියදම් කරන්න මුදල් නෑ. ඒ නිසා තමයි 25% කාන්තා නියෝජනය අනිවාර්යය කළේ. නමුත් අපිට දැනගන්නට තියෙනවා මේ ආණ්ඩුව ඒ 25% කාන්තා නියෝජනයට හරස් කපන්න හදන බව. අපි ආණ්ඩුවේ මේ උත්සාහයට එරෙහිව නැගී සිටිනවා.

ඒ වගේම තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපති සමයේ අහිමිවූ GSP ප්ලස් සහනය යහපාලන ආණ්ඩුව විසින් නැවත ලබාගන්න සමත්වුණා. ඒ සිවිල් සහ මානව හිමිකම් සුරක්ෂිත කරමින් ශිෂ්ට සම්පන්න පාලනයක් පවත්වා ගැනීම හරහා. අද වෙනකොට වත්මන් පාලනය යටතේ නැවතත් GSP ප්ලස් සහනය අහිමිවීමේ බැරෑරුම් තැනකට රට තල්ලු වෙමින් තිබෙනවා.

අනෙක් අතට කෘෂිකර්මාන්තය සඳහා සම්බන්ධව සිටි කාන්තාවන් මේ වන විට බලවත් ආර්ථික පීඩාවකට පත්වෙලා. ඔවුන්ගේ වගාබිම් සඳහා අවශ්‍ය පොහොර නැති කමින්. කාබනික පමණයි කියලා කිසිම වැඩපිළිවෙළක් , දැක්මක් නැතුව මේ පාලකයන් ගත් ක්‍රියාමාර්ග නිසා ඒ කාන්තාවන්ගේ ආදායම් අහිමි වෙලා. අපි මේ කාන්තාවන් කෙරෙහි විශේෂ අවධානයක් යොමුකර තිබෙනවා. ඇත්තටම මේ මතුව ඇති තත්ත්වය තුළ ආහාර හිඟයක් පවා ඇතිවීමේ අවධානම තිබෙනවා. එයිනුත් පීඩාවට පත්වෙන්නේ කාන්තාවන්.

ඔබලාට මතක ඇති , මේ ආණ්ඩුව බලය ගැනීමට පෙර ගමක් ගමක් ගානේ ගිහින් කිව්වා , ක්ශුද්‍ර මූල්‍ය ණය ඉවත් කරනවා කියලා. ක්ශුද්‍ර මූල්‍ය ණය නිසා ග්‍රාමීය කාන්තාවන් රැසක් බරපතළ පීඩාවකට මුහුණදී හිටියේ. දැන් මොකද වෙලා තියෙන්නේ. ආණ්ඩුව ක්ශුද්‍ර මූල්‍ය ණය ඉවත් කරලද ? නෑ. ඒක මේ ආණ්ඩුවේ ජන්ද ගුණ්ඩුවක් විතරක් වෙලා.

ජීවන වියදම අහස උසට යමින් තිබෙනවා. ගෘහනියට බත් මුට්ටිය කළමනාකරණය කරගන්නට බැරි තත්ත්වයක් ඇවිත්. මේ ගැන ආණ්ඩුව තඹ දොයිතුවක තැකීමක් නෑ.

මේ ආණ්ඩුව බලයට ඇවිත් ටික කාලයකින් සිදුවූ මහර බන්ධනාගාරයේ ඝාතනය හැමෝටම මතක ඇති. දැන් ඒ සිරකරුවන් ඝාතනය වෙලා ඉවරයි. නමුත් මේ වෙනකොට ඔවුන්ගේ දරු පවුල් රැකෙන්නේ කොහොමද ? ආණ්ඩුව ඔවුන් වෙනුවෙන් අඩුම ගානේ වන්දියක් දුන්නද ?

ඒ විතරක් නෙවෙයි. ගෘහනියන්ට ආරක්ෂිතම ස්ථානය ලෙස සැලකෙන්නේ මුළුතැන්ගෙය. නමුත් මේ ආණ්ඩුව ඉතාම අපරික්ෂාකාරී ලෙස ගෑස් සංයුතිය වෙනස් කරලා මුළුතැන්ගෙය ගෘහනියන්ට තියන අනාරක්ෂිතම තැන බවට පත්කළා.
කී දෙනෙක් ගෑස් සිලිණ්ඩර පුපුරලා මිය ගියාද ? ජීවිත 13ක් වගේ නැතිවුණා. ගෑස් අනතුරු 1000ක් පමණ සිදුවුණා. ඒ තුළ අසරණ වූ දරුවන් කාන්තාවන් , වින්දිතයන්ට ආණ්ඩුව සැලකුවද ?

මෙන්න මේ පීඩාකාරී , නොහික්මුණු , අපකීර්තිමත් ආණ්ඩුවේ වැඩපිළිවෙළට එරෙහිව තමයි එක්සත් ලක්වනිතා පෙරමුණ තීරණය කළේ, මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය අපි සමරන්නේ නෑ. සමස්ථ කාන්තා ප්‍රජාව වඩාත් දුෂ්කර ජීවන තත්ත්වයක් ඇතිකර තිබෙන මේ ආණ්ඩුවට විරෝධය දැක්වීම සඳහා පාර්ලිමේන්තු වටරවුමට එකතු වෙන්න.