'තනතුරු ලැබෙනවා නම් කා එක්ක වුණත් එකතු වෙනවා' - අමරවීර

'තනතුරු ලැබෙනවා නම් කා එක්ක වුණත් එකතු වෙනවා' - අමරවීර

''ශ්‍රිලනිපයට ප්‍රධාන තනතුරු ලැබෙනවා නම් කා එක්ක වුණත් අපි එකතු වෙනවා'' යයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්, ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

25දා අඟුණුකොළපැලැස්සේ පිහිටි ඔහුගේ නිවෙසේදී පැවති රැස්වීමකදී එබව සඳහන් කළ ඇමතිවරයා මෙසේද පැවසිය.

''අපි කිසිදු පක්ෂයක් එක්ක කටයුතු කරනවා කියලා තාම සාකච්ඡා කරල නැහැ. අපි බලාපොරොත්තු වෙන්නේ මොන පක්ෂය වුණත් කමක් නැහැ අපිට බලය ලැබෙනවා නම් අපේ අයට ප්‍රධාන තනතුරු ලැබෙනවා නම් අපි ඒ අයත් එක්ක එකතු වෙනවා.

කොට්ඨාසයට මන්ත්‍රිවරයෙක් ඉන්නවා. නමුත් ප්‍රායෝගික ගැටලු ටිකක් මතු වෙලා තියෙනවා. ඒක නිවැරැදි කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

බහුතර බලයක් එක් පක්ෂයකට ලබා ගැනීම අපහසු වීම නිසා පළාත් පාලන ආයතන පිහිටුවීම ප්‍රමාද වෙලා එයයි අපි ඉදිරියේදී වෙනස් කරන්නේ.''

ශ්‍රීලනිපයේ 'ඩබල් ගේම්' !

මේ අනුව පොහොට්ටු පක්ෂය සමග එක්ව පළාත් පාලන බලය පිහිටුවීමට අමාත්‍ය එස්.බී. දිසානායක දිසානායක මහතා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් සාකච්ජා පවත්වමින් සිටින අතර ශ්‍රීලනිප මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සිය ආධාරකරුවන්ට උපදෙස් දී ඇත්තේ, එක්සත් ජාතික පක්ෂය සමග එක්ව පළාත් පාලන ආයතන වල බලය තහවුරු කරගැනීමට කටයුතු කරන ලෙසයි.

මේ සම්බන්ධයෙන් කල විමසීමකදී අදහස් දැක්වූ පොහොට්ටු පක්ෂයේ ප්‍රධානියකු පැවසුයේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තම පක්ෂය සමගත් එක්සත් ජාතික පක්ෂය සමගත් වෙන වෙනම රහස් සාකච්ජා පවත්වමින්, කේවල් කරමින් කුමන පක්ෂයකට හෝ 'ජැක්' ගසා උප නගරාධිපති, උප සභාපති ආදී තනතුරු ලබාගැනීමට අවස්ථාවාදී ලෙස කටයුතු කරමින් සිටින බවයි.

මෙම තත්වය තුල පළාත් පාලන ආයතන බහුතරයක තනතුරු හා වරප්‍රසාද ලබාගැනීමට ශ්‍රීලනිපය කටයුතු කරමින් සිටින බව ඔහු වැඩිදුරටත් පැවසිය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න