ඊළඟ නැව එනතුරු ඉන්ධන සීමාවක් : මිදි ඇපල් තිබුණට තෙල් නෑ - ගම්මන්පිල

ඊළඟ නැව එනතුරු ඉන්ධන සීමාවක් : මිදි ඇපල් තිබුණට තෙල් නෑ - ගම්මන්පිල

පවතින අර්බුදය හමුවේ ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන නිකුත් කිරීමේදී සීමා පැනවීමට සිදු වනු ඇතැයිද ඊළඟ ඉන්ධන නැව මෙරටට පැමිණෙන තෙක් වෙළෙඳපොළට නිකුත් කිරීමට සිදු වන්නේ සීමිත ඉන්ධන තොගයක් බවද බල ශක්ති ඇමති උදය ගම්මන්පිල පවසයි.

ඒ හේතුවෙන්, විදේශ විනිමය වැය කිරීමේදී අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා ප්‍රමුඛතාව ලබා දෙනවා ද? යන්න සම්බන්ධයෙන් ආණ්ඩුව තීරණයක් ගත යුතු බව අමාත්‍යවරයා සඳහන් කරයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී ය.

“මම ද ඇමතිවරයෙකු වන ආණ්ඩුව දැන් කළ යුත්තේ, ප්‍රමුඛතා හඳුනා ගනිමින් ඇපල්, මිදි, දොඩම් කාලා කළුවරේ ඉන්නවා ද? පිටරටින් වතුර ගෙනැල්ලා බීලා වාහන දුවන්න තෙල් නැතුව ඉන්නවා ද? නැත්නම් ඒවාට කැප කිරීම කරලා, අත්‍යවශ්‍ය භාණ්ඩ වන ඖෂධ සහ ඉන්ධනවලට අපේ සීමිත විදේශ විනිමය වැය කිරීමේදී ප්‍රමුඛතාව දෙනවා ද කියන ප්‍රශ්නය පිළිබඳ ආණ්ඩුව තීන්දුවක් ගත යුතුමයි.

ඒ නොගැනීම නිසා තමයි, ඇපල්, මිදි ඇත. තෙල් ටික නැත. පිටරින් ගේන මීපැණි ඇත. ඒත් ඖෂධ නැත. මේ මොහොතේ ත් මුහුදේ තෙල් නැව් නවතාගෙන බලාගෙන සිටි යි. නැත්තේ ඩොලර් ය. අපි සතු තොග පහත බැහැලා තියෙනවා. ඒ නිසා ඊළඟ නැව එනතුරු අපිට සීමිත තොගයක් තමයි වෙළෙඳපොළට නිකුත් කරන්න සිද්ධ වෙන්නේ.

එහි අවසාන ප්‍රතිඵලය තමයි ඉන්ධන පිරවුම්හල්වලටත් සිද්ධ වෙනවා සීමිත ප්‍රමාණයක් විතරක් සෑම කෙනෙකුටම ලබා දෙන්න. මේ දුෂ්කර මොහොතේ සැමට සහනය ලැබිය යුතු නිසා තමයි සීමා කිරීමක් සහිතව ඉන්ධන නිකුත් කරන්නේ.”

ඉකුත් අඟහරුවාදා පැවති විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ඉන්ධන මිල දී ගැනීම සඳහා අඛණ්ඩව ඩොලර් සැපයීමට මුදල් අමාත්‍යංශය සහතික වුවද එය තවමත් ක්‍රියාත්මක වී නැතැයි අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

මෙම මාසය ඇතුළත ඉන්ධන මිල වැඩි නොවන්නේ ද? යන්න සම්බන්ධයෙන් එහිදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ඇමති උදය ගම්මන්පිල.

“අවිනිශ්චිත අනාගතය ගැන නිශ්චිත ප්‍රකාශ කරන්න බැහැ. ඒ විතරක් නොවෙයි, තව පැය 24ක්වත් මම ජීවත් වෙනවා කියලා මට සහතික වෙන්නත් බැහැ. ඔබටත් සහතික වෙන්න බැහැ. එතරම් අනිත්‍ය ලෝකේ, තෙල් මිල ගැන විතරක් මගෙන් ඇයි නිත්‍ය ප්‍රකාශ ඉල්ලන්නේ?”

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න