භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්‍යංශය : රාජ්‍ය භාග බාගෙට ගෙවලා !

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්‍යංශය : රාජ්‍ය භාග බාගෙට ගෙවලා !

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය මගින් රාජ්‍ය භාණ්ඩාගාරයට අය විය යුතු රාජ්‍යභාග පසුගිය වසර ගණනාව පුරාම නිසි පරිදි සම්ප්‍රේෂණය වී නොමැති බව පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ දී අනාවරණය වී ඇත.

එය නිසි පරිදි සිදු කිරීමට ක්‍රියාමාර්ග ගතයුතු බව කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් එහිදී අවධාරණය කළ බවත් වාර්තා වෙයි.

සභාපතිවරයා මේ බව පැවසුවේ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සහ එයට සම්බන්ධ ජී එස් එම් බී තාක්ෂණ සේවා (පුද්ගලික) සමාගම පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව වෙත කැඳවූ අවස්ථාවේදීය.

ඒ අනුව 2016 සිට 2021 දක්වා කාලය තුළ කාර්යාංශය විසින් රාජ්‍යභාග නිසි පරිදි එක්රැස් කොට තිබුණද රාජ්‍ය භාණ්ඩාගාරයට යැවිය යුතු ප්‍රමාණය සම්ප්‍රේෂණය නොකොට කාර්යාංශයට අයත් ස්ථාවර ගිණුම්වල තැන්පත් කොට තිබීම පිළිබඳවද කමිටුවේදී සාකච්ඡා කෙරිණි.

ඒ අනුව එම කාලය තුළ කාර්යාංශය තුළ එකතු වූ රාජ්‍යභාග ප්‍රමාණය රුපියල් 16,591,075,088ක් වන අතර රාජ්‍ය භාණ්ඩාගාරයට සම්ප්‍රේෂණය කොට ඇත්තේ රුපියල් 8,520,235,812ක් පමණක් බව මෙහිදී හෙළිවිය.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ අනුමත කාර්ය මණ්ඩල සේවක සංඛ්‍යාව ඉක්මවා බඳවාගෙන ඇති ජී එස් එම් බී තාක්ෂණ සේවා (පුද්ගලික)සමාගමට අයත් සේවකයන් වෙත කාර්යාංශය මගින් වැටුප් ගෙවීම සම්බන්ධවද කෝප් කමිටුවේදී සාකච්ඡා කෙරුණු අතර මෙහිදී කෝප් කමිටු සභාපතිවරයා අමාත්‍යාංශ ලේකම්වරයාට උප‍දෙස් ලබා දුන්නේ මේ පිළිබඳ පරීක්ෂණයක් පවත්වා කාර්යාංශයට සේවක අඩුපාඩුවක් පවතින්නේ නම් එය කළමනාකරණ සේවා දේපාර්තමේන්තුව වෙත දන්වා අදාළ අනුමැතිය සහිතව සපුරා ගන්නා ලෙසයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න