පාස්කු ප්‍රහාරය නඩුවෙන් : හේමසිරි සහ පූජිත නොදොස්කොට නිදහස් කළේ ඇයි ?

පාස්කු ප්‍රහාරය නඩුවෙන් : හේමසිරි සහ පූජිත නොදොස්කොට නිදහස් කළේ ඇයි ?

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වලක්වාගැනීමට කටයුතු නොකිරීම ඇතුළු අධිචෝදනා ලැබ සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර නිදොස්කොට නිදහස් කෙරුනි.

ඒ, කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ ඒකමතික තීන්දුවක් ලෙස යි.

නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැඳිගේ හා මොහොමඩ් ඉර්සදීන් යන කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් නියෝගය නිකුත් කෙරිණි.

ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවන බවට ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම තුළින් රාජකාරිය පැහැරහැරීම ඇතුළු අධි චෝදනා 855ක් යටතේ නීතිපතිවරයා පවරා තිබුණු මෙම නඩුවෙන් හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර නිදහස් කෙරුනේ විත්තියේ සාක්ෂි කැඳවීමකින් ද තොරවය.

විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරවම විත්තිකරුවන් මෙම නඩුව දෙකෙන් නිදහස් කරනවා ද, නැද්ද යන තීන්දුව ප්‍රකාශ කිරීමට විනිසුරු මඩුල්ල පසුගිය දා අදට (පෙබරවාරි 18) දින නියම කරන ලද්දේ මෙම නඩු දෙකෙහිම පැමිණිල්ලේ සාක්ෂි විභාගය අවසන් වීමෙන් අනතුරුව යි.

2019 ජුනි 6 දා පැවැත්වුණු, පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ඉදිරියේ දී හිටපු ආරක්ෂක ලේකම්වරයා පිළිගෙන තිබුණේ, මරාගෙන මැරෙන ප්‍රහාරයක් සම්බන්ධයෙන් තමන්ට ද කල්තියා තොරතුරු ලැබී තිබුණු බව යි.

නමුත් ඒ පිළිබඳව ජනාධිපතිවරයාට දැනුම්දීමට ක්‍රියා නොකළේ, එවක ජනාධිපතිවරයා සියලු බුද්ධි තොරතුරු සෘජුවම ලබා ගන්නේ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධනගෙනැ යි තමන් දැනුවත් වී සිටි නිසා බව ඔහු පැවසීය.

අධි චෝදනා 855බැගින් නීතිපතිවරයා විසින් වෙන් වෙන්ව අධිචෝදනා ගොනුකර පූජිත් ජයසුන්දර හා හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව පවරා තිබූ මෙම නඩු දෙකෙන් ඔවුන්ට එරෙහි චෝදනා ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති බව තීන්දු කළ විනිසුරු මඩුල්ල ඔවුන් එසේ නිදොස් කොට නිදහස් කිරීමට එසේ නියෝග කළේය.

ඒ අනුව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර හා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු නඩු වලින් නිදොස් කොට නිදහස් කෙරුණේ විත්තිය වෙනුවෙන් සාක්කි කැඳවීමකින් ද තොරවයි.

විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ සඳහන් කළේ රාජ්‍ය බුද්ධි අංශ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධනගේ වගකීම හරිහැටි ඉටු නොකර එම වගකීම වෙනත් කෙනෙකු මත පැටවීමට කටයුතු කර ඇති බව ඔහුගේ සාක්කියෙන් පෙනී යන බවයි.

මෙවැනි සංවේදී සිද්ධියක් මත පදනම්ව සාක්කි නොමැතිව පුද්ගලයකුට එරෙහිව නඩුවක් පවත්වාගෙන යාම කළ නොහැකි බව ද විනිසුරුවරයා පැවසිය.

යම් පුද්ගලයෙකුට අපරාධමය චෝදනාවක් එල්ල කිරීමේදී වඩාත් සැලකිලිමත් විය යුතු බව සඳහන් කර සිටි විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ අදාළ චෝදනා මත මොවුන් අත්අඩංගුවට ගැනීම පවා ගැටලු සහගත බව අවධාරණය කළේය.

තවද දේශපාලන අධිකාරියක් පැවතිද් දී රාජ්‍ය නිලධාරීන්ට පමණක් මෙලෙස නඩු පැවරීම අනුමත කළ නොහැකි බව ද විනිසුරු ආදිත්‍ය පටබැඳ ගේ තීන්දුවෙන් පවසා සිටියේය.

විත්තිකරුවන් අපරාධමය චෝදනාවක් නොව වගකීම් පැහැර හැරීමක් හෝ කර නොමැති බව විනිසුරුවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

BBC සිංහල

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න