Language Switcher

V2025

IMF ගැන එජාපය අමාත්‍ය මණ්ඩලයෙන් පැහැදිලි කිරීමක් ඉල්ලයි !

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල පැහැදිලි කිරීමක් කරන ලෙස එක්සත් ජාතික පක්ෂය ඉල්ලීමක් කර මාධ්‍ය නිවේදනයක් නිකුත්කර ඇත.

එහිදී එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල සභික දිනුක් කොළඹගේ අදහස් දක්වමින් පවසා ඇත්තේ , පසුගිය සතියේ රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ඉල්ලා ප්‍රකාශ තුනක් නිකුත් කළ බවයි.

" රටේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙලකට රජය එකඟ බව" පසුගිය පෙබරවාරි 2 වෙනිදා කැබිනට් ප්‍රකාශක ආචාර්ය රමේෂ් පතිරණ ප්‍රකාශ කර තිබුණි. පෙබරවාරි 2 වෙනිදා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව විශේෂඥ උපදෙස් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මේ වනවිට ඉල්ලා ඇති බවය. පෙබරවාරි 3 වෙනිදා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ටුවිටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ මෙය සමාන්‍ය තාක්ෂණික ආධාර වැඩසටහනක් බවයි.

කෙසේ වුවත් වැඩිදුරටත් අදහස් දැක්වූ කොළඹගේ පවසන්නේ , පසුගිය වසරේ නොවැම්බර්-දෙසැම්බර් මාසවලදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදේශන කටයුතු මෙරට පැවැති බැවින් මෙය තාක්ෂණික වැඩසටහනක්ද යන්න පිළිබඳව සැකයක් මතුවී තිබෙන බවයි.

රජය මේ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග මොනවාද යන්න මුදල් ඇමතිවරයා නොදන්න බව මහබැංකු අධිපතිවරයා ප්‍රකාශ කරනවාද? යන ප්‍රශ්නයත් ඔහු මතුකරයි.

ශ්‍රී ලංකාව දැවැන්ත මූල්‍ය අර්බූධයකට මුහුණ දී සිටින අවස්ථාවක රටේ පවතින ප්‍රශ්න මගහරවා ගැනීම සඳහා රජය තම සැලැස්ම මහජනතාවට ඉදිරිපත් කළ යුතු බවද, වර්තමානයේදී රටේ ආර්ථිකය අධීක්ෂණය කරන්නේ කවුරුන්ද යන්න පිළිබඳව දැඩි කනස්සල්ලක් පවතින බවද කොළඹගේ තවදුරටත් පැවසීය.

එසේම වැඩිදුරටත් ඔහු මෙසේද සඳහන් කරයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ නිවැරදි තත්ත්වය කුමක්ද යන්න සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය ප්‍රකාශයක් කිරීම අත්‍යාවශ්‍යයි. රජයේ පවතිත මේ අඛණ්ඩ ව්‍යාකූලත්වය සහ අවිනිශ්චිතභාවය මහජනතාව මුහුණදෙන දුෂ්කරතා තවත් වැඩිකරන බව අපේ හැඟීමයි.

රට මුහුණ දී සිටින මූල්‍ය ප්‍රශ්න විසඳීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබාගන්නා ලෙස එක්සත් ජාතික පක්ෂය දිගින් දිගටම රජයෙන් ඉල්ලා සිටියා. අමාත්‍ය මණ්ඩලය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබාගැනීම ප්‍රතික්ෂේප කරන්නේ නම් ඔවුන්ගේ ඉදිරි සැලසුම් මහජනතාවට ඉදිරිපත් කිරීමේ වගකීම ඔවුන් ක්‍රියාත්මක කළ යුතුව තිබෙනවා.