කටුනායක ගුවන් තොටුපළට හොලිවුඩ් අත්දැකීමක් ගෙනා විදේශිකයාගේ වික්‍රමය !

කටුනායක ගුවන් තොටුපළට හොලිවුඩ් අත්දැකීමක් ගෙනා විදේශිකයාගේ වික්‍රමය !

ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් මඟින් අබුඩාබි ඔස්සේ ප්‍රංශයේ පැරිස් වෙත පළා යාමට තැත් කළ ජාතිකත්වය හඳුනා නොගත් විදේශිකයෙකු, සඳුදා හිමිදිරියේ කටුනායක ගුවන් තොටුපළේ දී අත්අඩංගුවට ගැනින.

මහත් ආන්දෝලනයක් ඇති කළ පැය ගණනක ත්‍රාසජනක මෙහෙයුමකින් අනතුරුව මොහු අත්අඩංගුවට ගැනීමේ පුවත වාර්තා වන්නේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්න ඇති කරමිනි.

ගුවන් තොටුපළේ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් අත් අඩංගුවට ගැනීමට සූදානම් වන විට එයින් මිදී පැන දුවන්නට වූ මෙම විදේශිකයා, ගුවන් තොටුපළ වහලයට නැග ගුවන් තොටුපළෙන් පිටතට දිව යමින් සිටිය දී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්, ශ්‍රී ලංකා ගුවන් හමුදා කොමාන්ඩෝ භටයින්, ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් සහ කටුනායක ගුවන් තොටුපළ පොලිසියේ නිලධාරීන් එක්ව කළ ලුහුබැඳීමක ප්‍රතිඵලයක් ලෙස අල්ලා අත්අඩංගුවට ගෙන ඇතැ යි ගුවන්තොටුපළ ප්‍රකාශකයකු බීබීසී සිංහල සමග පැවසීය.

මොහු සුදු හම සහිත හැඩි දැඩි විදේශිකයෙකු වන අතර, ජනවාරි 10 දින අලුයම 02.45ට අබුඩාබි ඔස්සේ ප්‍රංශයේ පැරිස් වෙත යෑමේ අරමුණෙන් එතිහාඩ් ගුවන් සේවයේ EY 265 දරන ගුවන් යානයට නැගීම සඳහා කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ ඇති බවට ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් පැවසිය.

ජනවාරි 10 දින අලුයම 01.00ට පමණ කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තය වෙත පිවිසි මොහු, ගුවන් ප්‍රවේශ පත්‍රය ද ලබා ගැනීමෙන් අනතුරුව විගමන කවුළුව වෙත පැමිණ ඇත. ලියකියවිලි නිශ්කාශනය කර ගැනීම සඳහා ඔහු ඉදිරිපත් කළ ෂීෂෙල්ස් ජාතික ගුවන් ගමන් බලපත්‍රය පිළිබඳව සැක සිතූ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්, එම ගමන් බලපත්‍රය දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත තාක්ෂණික පරීක්ෂණ සදහා යොමුකර තිබේ.

ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් ප්‍රශ්න කිරීම් සිදු කරමින් සිටිය දී එකවරම හිඳගෙන සිටි පුටුවෙන් නැගිටගත මෙම විදේශිකයා, පිටත්වීමේ පර්යන්තය ඔස්සේ දිව යන්නට වූ බව ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් පැවසීය.

ආගමන විගමන මෙන්ම ගුවන් තොටුපළ නිලධාරීන් ද වික්ෂිප්ත කරමින්, පිටත්වීමේ පර්යන්තය ඔස්සේ දිව යමින් සිටි ඔහු රේගු පරිශ්‍රය හරහා දිවගොස්, චිත්‍රපට දර්ශනයක මෙන් ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන්ගේ ආරක්ෂක වැටවල් උඩින් පනිමින් දිව ගිය බවට එම නිලධාරීහු ප්‍රකාශ කළෝ ය.

ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් සිව් දෙනෙකු සහ ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් පිරිසක් ද මොහු පිටුපස ලුහුබඳිමින් සිටිය ද ඔහු ඔවුන්ගෙන් මිදී පලාගොස් ඇත.

මේ සදහා මොහුට ගතවූයේ ඉතා සුළු කාලයක් පමණක් බව ගුවන් තොටුපළ බලධාරීන් බීබීසී සිංහල සේවයට පැවසීය.

ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ රාජකාරී කරමින් සිටි ආගමන විගමන දෙපාර්තමේන්තු බලලත් නිලධාරීවරයා මෙහිදී ක්‍රියාත්මක වී, මේ පිළිබඳව කටුනායක ගුවන් තොටුපළ ගුවන් හමුදා කදවුර, ගුවන් තොටුපළ පොලීසිය, සහ ගුවන් තොටුපළ ආරක්ෂක ප්‍රධානීන් දුරකථන ඔස්සේ දැනුවත් කිරීමට පියවර ගෙන තිබුණි.

නිලධාරීන්ගෙන් ගැලවීගත් විදේශිකයා, අසල ඇති තාප්පයකට නැඟ, එයින් ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ වහළයට නැග, ඒ මත සැඟවී සිට ඇත. මේ බැව් ගුවන් තොටුපළ ආරක්ෂක කැමරා හරහා නිරීක්ෂණය කරමින් සිටි ගුවන් හමුදාව, ඔහු වහලයේ සැඟවී සිටි ස්ථානය වෙත වහා ගුවන් හමුදා කොමාන්ඩෝ භට පිරිසක් යොමුකර තිබිණි.

එවිට මෙම විදේශිකයා එම වහලය මත දිව ගොස් කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව යන මාර්ගයට පැන, ගුවන් තොටුපළෙන් පිටතට පළා යෑමට සූදානම් වී තිබේ.

එහිදී නිලධාරීන් විශාල පිරිසක් මොහු වටකර ගුවන් තොටුපළින් පිටතට යාමේ දොරටුව අසල දී අත් අඩංගුවට ගෙන ඇත.

මෙම විදේශිකයාගේ ගෙල ප්‍රදේශයේ පැහැදිලිව පිටතට පෙනෙන සේ 4693 ලෙස සදහන් අංකයක් පච්ච කොටා ඇති බවට බලධාරීන් පවසන අතර මොහු විදේශික බන්ධනාගාරයකින් පළා ආ පුද්ගලයෙකු හෝ කිසියම් ජාත්‍යන්තර ත්‍රස්තවාදී කල්ලියක හෝ විදේශීය රටක හමුදා සාමාජිකයකු විය හැකි බවට ගුවන් තොටුපළ ආරක්ෂක අංශ බීබීසී සිංහල සමග කියා සිටියේ ය.

"මෙසේ තාප්පය මත දිව යාම, වහලයෙන් වහලයට පැන යාම, ගුවන් තොටුපළ පරිශ්‍රයේ ආරක්ෂක නිලධාරීන්ට අභියෝග කරමින් දිව යාම වැනි කටයුතු, මේ පිළිබඳව මනා පුහුණුවක් ලද පුද්ගලයෙකුට පමණක් සිදු කළ හැකි ක්‍රියාදාමයන්," ගුවන් තොටුපළ ආරක්ෂක අංශ ප්‍රකාශකයෙකු පැවසීය.

අත්අඩංගුවට පත්වූ පුද්ගලයා මේ වනවිට කටුනායක ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත වැඩිදුර විමර්ශන කටයුතු සදහා භාර දී ඇති බව ඔහු ප්‍රකාශ කරයි.

BBC

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න

Publish modules to the "offcanvas" position.