Language Switcher

V2025

ශ්‍රීලනිප -පොහොට්ටු දීගය අවසන් : මෛත්‍රීගෙන් ආණ්ඩුවට අඛණ්ඩව ප්‍රහාර !

මෙරට දේශපාලනයේ සතුටින්ම සිටින දේශපාලඥයා තමන් බවත් තමන්ගේ කට වැසීමට කිසිවෙකුට හෝ නොහැකි බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකගේ 123 වැනි ජන්ම දින සැමරුමට සහභාගී වෙමිනි.

එහිදී වර්තමාන දේශපාලනය ගැන කළකිරීමකින් සිටින්නේ දැයි මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා… ” මම කවදාවත් කළකිරෙන මිනිහෙක් නෙවෙයි. අවුරුදු 54ක් වෙනවා මගේ දේශපානය. මේ රටේ දේශපාලනයේ සතුටින්ම ඉන්න කෙනා තමයි මම. නිකං ගමේ කොල්ලෙක් වෙලා ඉඳලා ඇවිල්ලා ජනාධිපති වෙච්ච කෙනෙක් නේ මම.” යැයි පැවසීය.

ඔටුන්නේ කතාව !

මේ අතර නාරම්මල පැවති පක්ෂයේ වැඩමුළුවක් අවස්ථාවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසා සිටියේ , ඔටුන්න වටින්නේ රටවැසියෝ ඔටුන්න පිළිගත්තොත් පමණක් බවයි.

වත්මන් ආණ්ඩුව බලයට පත්වූ වහා සිරකරුවන් ඝාතනය වීමට පටන් ගත් බවත්, නඩු එකින් එක විසිවී බොහෝ පිරිසක් නිදහස් වූ බවත් සඳහන් කරමින් ඔහු වත්මන් ආණ්ඩුවට තවත් බරපතළ චෝදනාවක් එල්ල කළේය.

මේ කටයුතු නිසා රටට ජාත්‍යන්තර සහයෝගය අහිමි වන බවද ඔහු එහිදී පැවසීය.

පොහොට්ටු ශ්‍රීලනිප දීගය ඉවරයි !

මේ අතර ගෝටාබය රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව විවේචනය කරමින් කටයුතු කිරීම හේතුවෙන් එළඹෙන කැබිනට් සංශෝධනයේදී ශ්‍රිලනිප ඇමතිවරුන් ඉවත් කිරීමට පොහොට්ටුවේ ප්‍රබලයින් සාකච්ඡා කර ඇති බවට තොරතුරු අනාවරණය වෙයි.

මෙම කැබිනට් සංශෝධනය එළඹෙන 10 වනදා සිදුවෙතැයි ආරංචි පැතිර ඇති අතර කැබිනට් මණ්ඩල සංශෝධනයේදී දැනට ආණ්ඩුව සමග හවුල්කාර ශ්‍රීලනිපට අයත් ඇමතිවරුන් සියල්ල නෙරපනු ඇතැයි දේශපාලන ආරංචි වාර්තා කරයි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුවේ කැබිනට් ඇමති ධූර දෙකක් හා රාජ්‍ය ඇමති ධූර දෙකක් ශ්‍රීලනිපයට අයත්වන අතර ශ්‍රිලනිපයට හිමි පාර්ලිමේන්තු මන්ත්‍රීධූර සංඛ්‍යාව 14 කි.

ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් වන නිමල් සිරිපාල, මහින්ද අමරවීර කැබිනට් ඇමතිවරු ලෙසත් ලසන්ත අලගියවන්න, දයාසිරි ජයසේකර හා දුමින්ද දිසානායක යන මන්ත්‍රීවරුන් රාජ්‍ය ඇමතිවරු ලෙසත් ආණ්ඩුව නියෝජනය කරති.

ගෝටාබය රාජපක්ෂ ආණ්ඩුව කලෙක සිට ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් මෙන්ම ඇමතිවරුන්ද දැඩිලෙස විවේචනය කිරීමට පටන්ගත් අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද අවස්ථා කිහිපයදී ආණ්ඩුව විවේචනය කිරීම සිදු කරනු ලැබීය. සුසිල් ප්‍රේමජයන්ත ඇමතිවරයා අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමත් සමග ශ්‍රිලනිප සියලු දෙනා මේ වනවිටත් රජය දැඩි ලෙස විවේචනය කරමින් සිටින පසුබිමක ඔවුන් ඇමතිධූර වලින් ඉවත් කිරීම සිදුවනු ඇතැයි වාර්තා පළවේ.