Language Switcher

V2025

තිස්ස කුට්ටිට SIS බුද්ධි අංශ තොරතුරු ගියේ කොහොමද?

තමා අමාත්‍ය ධුරයෙන් ඉවත් කලේ රාජ්‍ය බුද්ධි සේවයේ (SIS -State Intelligence Service) තොරතුරු මත යැයි ජානක තිස්ස කුට්ටි ආරච්චි මන්ත්‍රීවරයා කළ

ප්‍රකාශය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් කරන ලෙස හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් රජයේ ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටියි.

එය ඉතාම බරපතල ප්‍රකාශයක් බවත් රජය සහ බුද්ධි අංශ මේ සම්බන්ධයෙන් අවධානය යොමුකළ යුතු බවත් ඊයේ (06) අධිකරණ කටයුතු සදහා පැමිණි අවස්ථාවේ මාධ්‍යයට අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

බුද්ධි තොරතුරු ගලායාමේ ප්‍රමුඛතාවන් ලැයිස්තුවක් ඇති බවත් පළමු වරට පාර්ලිමේන්තුවට පැමිණි මන්ත්‍රීවරයෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, පාර්ලිමේන්තු ස්ථාවර නියෝග හෝ රටේ දේශපාලනය සම්බන්ධයෙන් නොදැන බුද්ධි අංශ තොරතුරක් මත තමාව ඉවත්කිරීම සම්බන්ධයෙන් අදහස් දැක්වීම බරපතල කාරණයක් බව හිටපු රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

තිස්ස කුට්ටි ආරච්චි මන්ත්‍රීවරයා සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා මෙසේ පැවසිය.

"ඒක ඉතාම බරපතළ ප්‍රකාශයක්. අපේ පස්සේ බුද්ධි අංශය යන්න ඕනේ නෑ අපි කියන්න තියෙන දේ එළිපිට කියනවා. කවදාවත් අපි කුමන්ත්‍රණය කරපු මිනිස්සු නෙමෙයි ඉතිහාසයේ. බරපතළ වෙන්නේ මෙතෙන ප්‍රශ්නේ, බුද්ධි අංශ වාර්තාවක් කිව්වහම තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා වගේ කෙනෙකුට බුද්ධි අංශ තොරතුරු ගියේ කොහොම ද? මේක බරපතළ ප්‍රශ්නයක් නේ. බුද්ධි අංශ ඉතාම අවධානය යොමුකරන තැනක් රජයේ ප්‍රධානීනුත් මේ ගැන අවධානය යොමු කරන්න ඕනේ. මෙසේ නොවිය යුතුයි. බුද්ධි අංශ තොරතුරක් ගැන පළවෙනි වතාවට පාර්ලිමේන්තුවට ආව මන්ත්‍රීවරයෙක්, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවත්, රටේ දේශපාලනය ගැනවත්, අපේ දේශාපාලන ඉතිහාසය ගැනවත් නොදැන. බුද්ධි අංශ තොරතුරක් මත මේක වෙනවා කියන එක බරපතළ කාරණයක් මං දකින හැටියට නම්. මම ඉල්ලීමක් කරනවා ප්‍රධානීන්නගෙන් මේ කරපු ප්‍රකාශය පිළිබඳ වෙනම පරීක්ෂණයක් කරන්න කියලා කොහොම ද මේ මන්ත්‍රීවරයෙකුට බුද්ධි අංශ වාර්තා ලැබුණේ කියලා."

බැසිල් වාදියකු වන තිස්ස කුට්ටි ආරච්චි මන්ත්‍රීවරයා සිදුකල ප්‍රකාශය සම්බන්ධයෙන් රජයෙන් හෝ රාජ්‍ය බුද්ධි සේවයෙන් මේ දක්වා කිසිඳු ප්‍රතිචාරයක් දක්වා නොමැත.

theleader