මාස 19 කට පසුව : කවියාට ඇප ලැබෙයි !

මාස 19 කට පසුව : කවියාට ඇප ලැබෙයි !

අහ්නාෆ් ජසීම් නම් මුස්ලීම් ජාතික කවියා ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබේ.

ඒ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ මාස 19 කට ආසන්න කාලයක් ඔහුව රඳවාගෙන සිටිනු ලැබීමෙන් පසුවය.

රුපියල් ලක්ෂ තුන බැගින් වූ ශරීර ඇප තුනක් මත අහ්නාෆ් ජසීම් මුදා හැරීමට නියෝග කළ පුත්තලම මහාධිකරණ විනිසුරු නයෝමි වික්‍රමසිංහ දෙසැම්බර් 15 වැනි බදාදා වැඩි දුරටත් නියෝග කර ඇත්තේ ඔහු සෑම මසකම පළමු සහ අවසන් ඉරිදා ත්‍රස්ත මර්දන කොට්ඨාසයේ පුත්තලම කාර්යාලයේ අත්සන් කළ යුතු බවයි.

අහ්නාෆ් ජසීම්ගේ විදේස ගමන් තහනම් කිරීමටත් අධිකරණය ක්‍රියා කළ බව පලාත් බද වාර්තාකරුවෝ පවසති.

කවියකු සහ ගුරුවරයකු වන අහ්නාෆ් ජසීම් පොලිස් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය මඟින් අත්අඩංගුවට ගන්නා ලද්දේ 2020 මැයි මස 20 වැනි දිනයේයි.

ඔහුගේ මූලික අයිතිවාසිකම් වෙනුවෙන් ගොනු කර තිබු පෙත්සම දෙසැම්බර් 8 දිනයේ කැඳවන ලද අවස්ථාවේ දී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබුනේ අහ්නාෆ් ජසීම් ට ඇප ලබාදීමට නීතිපතිවරයා විරුද්ධ නොවන බවයි.

අහ්නාෆ්ට එරෙහිව පුත්තලම මහාධිකරණයේ අධිචෝදනා ගොනු කර ඇති නඩුව විභාග වන විට අහ්නාෆ්ට ඇප ලබාදීමට නීතිපතිවරයා විරුද්ධ නොවන බවත් ජනාධිපති නීතිඥ නෙරින් පුල්ලේ අධිකරණයට දන්වා තිබුනි.

මන්නාරමුදු අහ්නාෆ් නමින් දෙමළ පාඨක ප්‍රජාව අතර ප්‍රකට අහ්නාෆ් ජසීම් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය (CTID) විසින් අත් අඩංගුවට ගන්නා ලද්දේ 2017 දී ලියා පලකළ නවරසම් (நவரசம்) පද්‍ය සංග්‍රහය ගැන සහ සිය ශිෂ්‍යයන් ‘අන්තවාදී මතවාදවල’ අනුගාමිකයන් බවට පත් කිරීමේ අභිලාෂයෙන් ඔවුන් ‘අන්තවාදී’ කරුණුවලට නිරාවරණය කළ බවට චෝදනා කරමිනි.

2020 මැයි 16 දා අත් අඩංගුවට ගෙන වසරකට වැඩි කාලයක් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය මගින් රඳවාගෙන සිටි ඔහු පසුගිය ජුනි මාසයේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් කර තිබුනි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න