මහ බැංකුවට එරෙහිව නීතිඥ සංගමය අධිකරණයට !

මහ බැංකුවට එරෙහිව නීතිඥ සංගමය අධිකරණයට !

මූල්‍ය කටයුතුවලට අදාළව ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනයක් බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති හා ජනාධිපති නීතිඥ, සාලිය පීරිස් මහතා සහ එම සංගමයේ උප සභාපති ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ යන මහත්වරු විසින් පෙත්සම ඉදිරිපත් කර තිබේ.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, එම බැංකුවේ මූල්‍ය මණ්ඩලය හා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන අය නම් කර තිබේ.

පෙත්සම්කාර සංවිධානයේ සාමාජිකයින් වන නීතීඥවරුන් සිය සේවාදායකයින්ගෙන් අය කරනු ලබන ගාස්තු ශ්‍රී ලංකාව තුළදී සහ ඉන් පිටත දී විදේශ මුදල්වලින් මෙතෙක් ලබා ගෙන තිබෙන බව පෙත්සමේ සඳහන් වේ.

ඒ සඳහා පුද්ගලික නේවාසික මුදල් ගිණුම සහ විදේශ තැන්පතු ගිණුම යනාදී ගිණුම් දෙකෙන්ද, වානිජ බැංකු ගිණුම් හරහා ද සෘජුම විදේශ මුදල් ලබා හැකියාව පැවැතුණි.

එසේ තිබියදී පසුගිය ඔක්තෝබර් 28 වැනිදා මහ බැංකු අධිපතිවරයා විසින් මූල්‍ය පනතේ 10.1 වගන්තිය යටතේ 2251/41 දරණ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළ අතර, එම ගැසට් නිවේදනය මඟින් බැංකු ගිණුම් හරහා මෙරටට ලැබෙන විදේශ මුදල් ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීම අනිවාර්ය කර ඇතැයි පෙත්සම්කරුවන් චෝදනා කළේය.

තම සංගමයේ සාමාජිකයින්ගේ කිසිදු කැමැත්තකින් තොරව මෙසේ ඔවුන්ගේ ගිණුම්වලට එවන විදේශ මුදල් අනිවාර්යෙන්ම ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්ථනය කිරීමට නියෝග කිරීම නීතියට පටහැනි ක්‍රියාවක් බව ඔවුන් පෙන්වා දෙයි.

එබැවින් අදාළ ගැසට් නිවේදනය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් එම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තුරු අදාළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.

(මව්රට )

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න