ඒකාබද්ධය කනස්සල්ලෙන් : එජාප - ශ්‍රීලනිප අත්සන් තවමත් නැහැ !

ඒකාබද්ධය කනස්සල්ලෙන් : එජාප - ශ්‍රීලනිප අත්සන් තවමත් නැහැ !

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කිරීම සඳහා එක්‌සත් ජාතික පක්‍ෂයේ මෙන්ම ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මැති ඇමැතිවරුන් කණ්‌ඩායමක්‌ පොරොන්දු වී ඇතත් මෙතෙක් එම පක්ෂ දෙකෙහි කිසිවකු හෝ මෙම ලේඛනයට මෙතෙක් අත්සන් තබා නොමැත.

මෙම විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කිරීම සඳහා එක්‌සත් ජාතික පක්‍ෂයේ මෙන්ම ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මැති ඇමැතිවරුන් කණ්‌ඩායමක්‌ පොරොන්දු වී ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා "දිවයින" පුවත්පතට පවසා ඇත.

විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කිරීම සඳහා ඊට අත්සන් තැබීමට එක්‌සත් ජාතික පක්‍ෂයේ තරුණ මන්ත්‍රීවරුන් පිරිසක්‌ සහ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ඇමැතිවරුන් පිරිසක්‌ එකඟවී සිටින බවද රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් කියා සිටියි.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දක්වා ඇති රාජපක්‍ෂ මහතා මෙසේද සඳහන් කර ඇත.

'' කවුරු මොනවා කිව්වත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කරනවා.

සාමාන්‍ය ජනතාව මහත් උනන්දුවෙන් බලා සිටිනවා මේ කටයුත්ත කෙරෙන කල්. අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්‌ ගෙන ඒම ගැන මහජනතාවගේ උණුසුම් ප්‍රතිචාර අපට ලැබෙනවා.''

 ඒකාබද්ධයේ අය කතාවුනේ මොනවද ?

 මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම ඊයේ (20දා) දින පාර්ලිමේන්තුවේදී රැස්වූයේ උදෑසන 10.30ට පමණය.

පාර්ලිමේන්තු සංකීර්ණයේ බිම් මහලේ පිහිටි කමිටු ශාලා අංක 4හි පැවැති මෙම රැස්වීම පැවැත්වුණේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනි.

ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් ඇතුළු බොහෝ දෙනකු මහත් උනන්දුවෙන් මෙම රැස්වීම සඳහා පැමිණෙන ආකාරයක් දක්නට ලැබිණි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත විශ්වාසභංග යෝජනාව පිළිබඳ තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වෙන නිසා ඊට සහභාගි වීම සඳහා මෙසේ වැඩි උනන්දුවකින් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු පැමිණෙන්නට වූහ.

 ''ඒකාබද්ධයේ 54 දෙනාගෙන් 51 දෙනකු අත්සන් කරලා''

 රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කිරීමට යන විශ්වාසභංග යෝජනාව ගැන ප්‍රථමයෙන්ම කතා කරන්නට වූයේ ඩලස් අලහප්පෙරුම මන්ත්‍රිවරයාය.

 "රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට අස්සන් ලබාගනිමින් යනවා" යනුවෙන් අදහස් දැක්වූ ඩලස් අලහප්පෙරුම මන්ත්‍රිවරයා තම පැහැදිලි කිරීම ආරම්භ කළේය.

එම කතාව අවසානයේදී ඩලස් අලහප්පෙරුම මන්ත්‍රිවරයා විශ්වාසභංග යෝජනාවට අස්සන් කර තිබෙන ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ සංඛ්‍යාව ගැන විමසා සිටියේ ෂෙහාන් සේමසිංහ මන්ත්‍රිවරයාගෙනි.

ඒ වන විටත් තමා ළඟ ඇති අස්සන් ලේඛනය ඉතා සුපරීක්‍ෂාකාරීව ෂෙහාන් සේමසිංහ මන්ත්‍රිවරයා පරීක්‍ෂා කරමින් සිටියේය.

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 54 දෙනාගෙන් 51 දෙනකු දැනට විශ්වාසභංග යෝජනාවට අස්සන් තබා තිබෙන බව ෂෙහාන් සේමසිංහ මන්ත්‍රිවරයා විසින් ප්‍රකාශ කරන ලදී.

රොෂාන් රණසිංහ මන්ත්‍රිවරයා විදේශගතවී සිටින බවත් දැනට බන්ධනාගාරගතව සිටින එක් මන්ත්‍රිවරයකුට අස්සන් කිරීමට නොහැකිවී තිබෙන බවත් මෙහිදී ෂෙහාන් සේමසිංහ මන්ත්‍රිවරයා විසින් පැහැදිලි කරන ලදී.

 ශ්‍රීලනිප - එජාප අත්සන් නොලැබුණොත් මොකද කරන්නේ ?

 ඉන් අනතුරුව මෙම විශ්වාසභංග යෝජනාව පිළිබඳ වර්තමානයේ පවතින තත්ත්වය ගැන පාර්ලිමේන්තු මන්ත්‍රිවරු කිහිපදෙනකුම අදහස් දක්වන්නට වූහ.

නිමල් ලාන්සා, ප්‍රසන්න රණතුංග, රමේෂ් පතිරණ, උදය ගම්මන්පිල, කුමාර වෙල්ගම, කෙහෙලිය රඹුක්වැල්ල, මහින්දානන්ද අලුත්ගමගේ, යන මහත්වරුන් ඇතුළු මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම අදහස් දක්වන්නට වූ අතර ඇතැම් අවස්ථාවලදී යම් යම් උණුසුම්කාරී අවස්ථාද ඇතිවුණි.

මෙම විශ්වාසභංග යෝජනාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම මැති ඇමැතිවරුන් අස්සන් කරාවිද? නැත්නම් කිහිපදෙනකු පමණක් අස්සන් කරාවිද? යනුවෙන් ඇතැමකු මෙහිදී ප්‍රශ්න කරන්නට විය.

"ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම මැති ඇමැතිවරුන් වාගේ මෙම විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කරවීම සඳහා කැමැත්තෙන් ඉන්නේ. කොටසක් අස්සන් කරාවි. ඉතිරි කොටස ඡන්ද විමසීම සිදුකරන අවස්ථාවේදී විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කරන්න ඡන්දය ප්‍රකාශ කරාවි". ඊට ප්‍රතිචාර වශයෙන් කිහිපදෙනෙක්ම අදහස් දැක්වූහ.

"එක්සත් ජාතික පක්ෂයේ තත්ත්වය මොන වාගේ වේවිද" තවත් මන්ත්‍රිවරයකු විමසුවේය.

"සංකේතාත්මකව අස්සන් කරන්න කිහිපදෙනකු කැමැත්ත පළ කරලා තියෙන්නේ. එම අස්සන් ලැබුණාට පසුව බාර දෙමු" තවත් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු කීවේය.

"ඔය කියන විදියට ශ්‍රී ලංකා එකෙනුයි යූ.ඇන්.පී. එකෙනුයි අස්සන් නොලැබුණොත් කරන්නේ මොකක්ද"තවත් මන්ත්‍රිවරයකු විමසා සිටියේය.

''මෙම විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කරවීම සඳහා සහාය ලබාදෙන බව ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා. කවුරුන් සහාය ලබාදුන්නත් නැතත් මෙම විශ්වාසභංග යෝජනාව ඒකාබද්ධ විපක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබනවා. එතකොට රටේ ජනතාවට හොඳහැටි බලාගන්න පුළුවන් අගමැති ආරක්‍ෂා කරනවා නම් එහෙම කරන්නේ කවුද? යනුවෙන් තවත් මන්ත්‍රිවරයෙක් පැවැසුවේය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න