ජනපති නියෝගයට පිටින් වයඹ පොල් ඉඩම් කට්ටි කරලා !

ජනපති නියෝගයට පිටින් වයඹ පොල් ඉඩම් කට්ටි කරලා !

වයඹ පළාතේ අක්කර 10ට වැඩි බිම් ප්‍රමාණයකින් යුත් පොල් ඉඩම් කැබලි කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් පනවන ලද තහනම් නියෝගය නොතකා, සූක්ෂ්ම ලෙස එබඳු ඉඩම් කට්ටි කෙරෙමින් පවතින බව අනාවරණය වේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම නියෝගය කරන ලද්දේ 2018 මාර්තු 07 වන දින ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදීය.

එහෙත් එම නියෝගය ලබාදුන් දිනට, එනම් මාර්තු මස 07 වනදාට ප්‍රථම දින යොදා ව්‍යාජ ලෙස ලේඛන සකස් කොට පොල් ඉඩම් කැබලි කරමින් පවතින බවත්, මේ සඳහා වයඹ පළාත් සභාවේ සහයෝගය ලැබෙන බවත් වැඩි දුරටත් හෙළි වේ.

තහනම් නියෝග පැනවීමට පෙර:

මේ පිළිබඳව වයඹ පළාත් මහ ඇමති ධර්මසිරි දසනායක මහතාගෙන් කළ විමසීමේදී, ඔහු පැවසුවේ ජනාධිපතිවරයා තහනම් නියෝග පැනවීමට පෙර කැබලි කිරීමට අනුමැතිය ලබාදුන් පොල් ඉඩම් තිබෙන බවත්, ව්‍යාජ ලේඛන මත පොල් ඉඩම් කැබලි කිරීමට තමන් අනුමැතිය නොදුන් බවත්ය.

අක්කර 4ට වැඩි පොල් ඉඩම් පවා කැබලි කිරීමට පොල් ඉඩම් කමිටුව හරහා අනුමැතිය ලැබෙන බවත්, ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කරන බවත් මහ ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු නාමල් කරුණාරත්න මහතා පැවසුවේ සරුසාර පොල් ඉඩම් කැබලි කිරීම මේ වන විට බරපතළ ගැටලුවක් වී ඇති බවයි.

පොල් මිල ඉහළ යෑමට මෙය හේතු වී ඇති බවත්, ඊට පළාත් දේශපාලනඥයන් සහයෝගය දක්වන බවත් පැවසූ නාමල් කරුණාරත්න මහතා වැඩිදුරටත් අවධාරණය කළේ ජනාධිපතිවරයා පැනවූ නියෝගය කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බවයි.

(රැස)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න