Language Switcher

V2025

එක රටක් එක නීතියක් බලකාය අහෝසි කරන්න - එජාපය දන්වයි !

එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්‍ය සාධක බලකාය වහාම අහෝසි කරන ලෙස එක්සත් ජාතික පක්ෂය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත දැනුම්දීමක් සිදුකර ඇත.

මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය ප්‍රසිද්ධ නිවේදනයක් නිකුත්කර ඇත.

අදාළ ජනාධිපති කාර්‍ය සාධක බලකාය හේතුවෙන් රටේ මූලික ව්‍යවස්ථාවට සහ ජාතික සමගිය අර්බුද ඇතිකරන්නක් බවත් එහිදී නිදර්ශන සහිතව අවධාරණය කර ඇත.

එක්සත් ජාතික පක්ෂය නිකුත්කළ නිවේදනය පහත දැක්වෙයි.

නිදහස් ලංකාවක් බිහිවීමත් සමග ආග්‍රමාත්‍ය මහාමාන්‍යය ඩී. එස්. සේනානායක මැතිතුමා ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් බිහි කළ අතර සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් ජනතාව එක් අනන්‍යතාවයකින් ඉදිරියට ගමන් කිරීම අපගේ ජාතික ගීයේ ‘එක මවකගේ දරු කැල බැවිනා‘ යන වචන තුළින් අර්ථ ගැන්වුනා. එමෙන්ම අපගේ ව්‍යවස්ථාවේ මුලික අයිතිවාසිකම් පරිච්ජේදය තුළද එය සඳහන් වී තිබෙනවා.

ඒ අනුව අපට ඇත්තේ ශ්‍රී ලාංකික අනන්‍යතාවය තුළ ඉදිරියට ගොස් අඩුපාඩු සකසා ගැනීමයි, එම නිසා එක් රටක් එක් නීතියක් සදහා පත්කළ ජනාධිපති කාර්යසාධන බලකාය ඊට පටහැනි වනවා.

මෙම රටේ විවිධ පුද්ගල කොට්ඨාශ වෙනුවෙන් වෙනවෙනම නීති තිබු අතර අපගේ පැරණි සිංහල රාජධානියේ නීතිය අද උඩරට නීතිය ලෙස හැඳින්වෙනවා. එය අවුරුදු 700 කට වඩා පැරණි නීතියක් රෝමානු ලන්දේසි නිතියද අවුරුදු 600 කට වඩා ක්‍රියාත්මක වී තිබෙනවා.

තේසවලමේ නීතිය වසර 500 ක් පමණ පැරණි යාපනයට පමණක් අනන්‍ය වූ දකුණු ඉන්දියාවේ පවා ක්‍රියාත්මක නොවන පැරණි විශේෂ නීතියක්. එමෙන්ම මුස්ලිම් වරුන් සඳහා පවතින නීතියද දීර්ඝ කලක සිට පිළිගෙන තිබෙනවා.

මීට අමතරව නැගෙනහිර පළාතේ මුක්කුව නමින් ජනවර්ග කණ්ඩායමක් 19 වන ශතවර්ෂයේ අග බාගය දක්වා ජිවත් වූ අතර, ඔවුන්ටත් වෙනම නීතියක් පැවතුණා. 20 වන ශතවර්ෂයේදී මෙම ජන කණ්ඩායම ද්‍රවිඩ හා මුස්ලිම් ජන කොට්ඨාශ සමග මිශ්‍ර වීම හේතුවෙන් සමාජයෙන් තුරන් වුණා.

අතීතයේ පටන් විවිධ ජන කණ්ඩායම් වලට පැවති ක්‍රමවේද සහ ලක්ෂණ අප පිළිගෙන තිබෙන අතර ඒ තුළින් කිසිවෙකුටත් හානියක් සිදුවී නැත.

මෙම නීති ඉවත් කිරීම යනු සමස්ත ශ්‍රී ලංකා රාජ්‍ය වෙනුවෙන් ගොඩ නැගු නීති පද්ධතීන්ද ඉවත් කිරීම හා සමාන වනු ඇති. මෙම නීති වල පවතින අඩුපාඩු අපට සකසා ගත හැකියි.

ප්‍රධාන වශයෙන් තේසවලමේ නීතියේ විවාහ වූ කාන්තාවන්ගේ අයිතිවාසිකම් සිමා වෙලා තිබෙනවා. එම අඩුපාඩුව අපි සකස් කළ යුතුයි.

මුස්ලිම් නීතිය යටතේද ස්වාමි පුරුෂයෙකු භාර්යාවන් 04 ක් විවාහ කර ගැනීම සහ විවාහක කාන්තාවන්ට අයිතිවාසිකම් අවම වන අතර, එය සංශෝධනය කිරීමට කෙටුම්පතක් 2019 දී පැවති යහපාලන ආණ්ඩුවෙන් සකස් කළා.

එම කෙටුම්පත මේ වන විට අධිකරණ අමාත්‍ය අලි සබි්‍ර මහතා විසින් ඉදිරියට ගෙන යමින් සිටින මොහොතකයි මෙම ජනාධිපති කාර්යසාදන බලකාය පත්කර ඇත්තේ.

මීට අමතරව ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට සහ පිරිමින්ට එක හා සමාන ලෙස සැළකීම සෑම අංශයක් තුළින්ම දක්නට නොලැබෙන අතර ඒ සඳහාද නීති ඉදිරිපත් කළ යුතුයි. ඒ අනුව රටේ බහුතරය වන කාන්තාවන්ට මෙම ක්ෂේත්‍ර සදහා නීති කෙටුම්පත් කිරීම ගැටලුවක් නොවේ. ඒ පිළිබදව රට තුළ සංවාදයක් ගොඩ නැගී තිබෙනවා.

කෙසේ වුවත් පත්කර ඇති ජනාධිපති කාර්යසාධන බලකායෙන් සිදු වන්නේ එය අවුල් සහගත වීමයි එමෙන්ම ජාතික සමගිය විනාශ කිරීමයි. ජනාධිපතිවරයාට උපදෙස් සහ සහය ලබා ගැනීම අදාල විෂය භාර අමාත්‍යවරයා හෝ නීතිපතිවරයාගෙන් සිදු කළ හැකිය.

පළමුවෙන්ම සිදු කළ යුත්තේ පාර්ලිමේන්තුවේ විවාද කිරීමයි. ඉන් අනතුරුව තේරීම් කාරක සභාවක් පත්කර ඒ පිළිබද සාකච්ඡා කර ඊට අධිකරණ අමාත්‍යංශය සහ විශේෂයෙන් නීතිපතිවරයාගේ සහය ලබාගැනිමයි.

අමාත්‍ය මණ්ඩලය තුළ සාකච්ඡා නොකොට අධිකරණ අමාත්‍යවරයා සහ නීතිපතිවරයා ඉවත් කොට මේ සිදු කරන්නේ විහිලු සහගත ක්‍රියාවක් .

ජනාධිපති කාර්යභාර්ය පදනම මතත් මෙය ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක් වනවා මෙය පාර්ලිමේන්තුවට අයත් කාර්යයක්.

ඒ නිසා රටේ එකමුතුකමට හානියක් වන එක් රටක් එක් නීතියක් සඳහා වන ජනාධිපති කාර්යසාධන බලකාය වහාම අහෝසි කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට දැනුම් දෙමු.