Language Switcher

V2025

නොවැම්බර් 03 ලයිට් කපයිද ?

හෙට මොකද වෙන්නේ? ලයිට් කපයි ද? කරුවලේ ඉන්න වෙයි ද? මෙය අද ශ්‍රී ලංකාවේ බොහෝ දෙනාගේ සිතට නැගෙන ප්‍රශ්නයක් විය යුතු ය.

තමා පැය 48ක වැඩ වර්ජනයකට එළඹෙන්නේයැ යි විදුලි වෘත්තීය සමිති විසින් පසුගිය සතියේ දී ප්‍රකාශ වීමත් සමග මෙම ගැටලු මතුවිය.

"ආණ්ඩුව අපිට කියනවා වැඩවර්ජනයකට පලයල්ලා! අඳුරේ තියපල්ලා! එතකින් මෙහා අපි මේ නරුම ප්‍රතිපත්තිය, මේ ගිවිසුම අකුලගන්නේ නැහැ කියලා. ඒ නිසා අපි ජනතාවට කියනවා, මේ තුවාලය සුව කරන්න ඔබට, අපිට අඳුරේ ඉන්න වෙයි දවස් දෙකක්. අපි රට අඳුරට පත් කරනවා වැඩ වර්ජනයකට යනවා," ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් පසුගිය සතියේ ප්‍රකාශ කළේ ය.

එහෙත් මේ වන විට ලංකා විදුලි බල මණ්ඩල වෘත්තීය සමිති සන්ධානය අවධාරණය කරන්නේ, හෙට (නොවැම්බර් 03) වැඩ වර්ජනයක් ක්‍රියාත්මක නොකරන බවයි.

ලංකාව: විදුලි ඒකකයක මිල වැඩිම රටක් විදුලි රැහැන් හා ගොඩනැගිලි: නව රෙගුලාසියක් හෙට මොකද වෙන්නේ? කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරයේ 40%ක කොටස් හා මෙරට LNG (ද්‍රවකළ ස්වභාවික වායුව) සැපයුම අමෙරිකාවේ නිව් ෆෝට්‍රස් සමාගමට ලබාදීමේ සූදානම මුල්කරගෙන තමන් ඒකාබද්ධ වෘත්තීය ක්‍රියාමාර්ගයකට සූදානම් වන බව විදුලි වෘත්තීය සමිති පවසයි.

රටේ ජාතික සම්පත් විකිණීමට එරෙහි ඒකාබද්ධ සන්ධානය ලෙස ඔවුහු මෙම ඒකාබද්ධ ක්‍රියාමාර්ගයට එක්ව සිටිති.

"තුන්වැනිදා වැඩ වර්ජනයක් නැහැ. හැබැයි බලාගාර සහ බිඳවැටුම්වලට අත්‍යාවශ්‍ය සේවකයෝ තියලා, අපි කොළඹට කැඳවනවා නඩත්තු කටයුතු සේවකයෝ. වැඩ වර්ජනයක් කියන කාරණය සම්බන්ධයෙන් වරක් දෙවරක් නොවෙයි සිය දහස් වාරයක් හිතනවා. තුන් වැනිදායින් පස්සේ අපි දින නියම කරනවා. අපි වැඩ වර්ජනයකට යන්නේ ලයිට් කපල නොවෙයි. ලයිට් තියෙද්දි. පවත්වාගෙන යාම බැසිල් රාජපක්ෂ මහතාටයි, ගෝඨාභය මහතාටයි, මහින්ද රාජපක්ෂ මහතාටයි බාරයි," ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් පැවසීය.

"අපි දන්න සාස්තරේ අනුව නම්, අපි බලාගාරේ නැත්තන්, අපි වැඩ බිමේ නැත්තන් විදුලි සැපයුම පවත්වගෙන යන්න බැහැ. පැය 24ක් විදුලි බල මණ්ඩලය වැඩ වර්ජනයක් කළොත් [රට] වැටෙනවා, බිංදුවටම වැටෙනවා හතරගාතේ දාලා. මේ ගොල්ලන්ට විදුලිබල මණ්ඩලය වැඩ වර්ජනයක් කරලා රටට කෙළවුණාට රටේ පාලකයන්ට ප්‍රශ්නයක් නැහැ. අමෙරිකා නිව් ෆෝට්රස් සමාගමත් එක්ක රටට කෙලවලා තියෙන්නේ, ජාතික ආරක්ෂාවට කෙලවන්න පුළුවන් හොඳම කෙළවිල්ල කෙළවලා තියෙන්නේ."

මෙම විදුලි සේවකයන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගයට අනෙකුත් වෘත්තීය සමිතිද සහයෝගය පළකර ඇත.

වරාය ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු ලාල් බංගමුවගේ දැක්වුයේ මෙවන් අදහසකි.

"තෙල්මිල ඉහළ ගියා. ගෑස් මිල ඩබල් වුණා. අදානිගේ සාක්කුවට වැටිලා, බටහිර පර්යන්තය අදානි ගොඩනගලා බිස්නස් එක ගන්නකන් නැගෙනහිර පර්යන්තයට අත තියන්නේ නැහැ කියන එක අපිට දැන් පැහැදිලි වෙනවා. මේ ආයතන තුන නැතිවුණාම සේවකයින්ට පමණක් නොවේ මේ රටේ ජනතාවටත් ජීවත් වෙන්න විදිහක් නැති වෙනවා. එතකොට අපිට කියන්න වෙන්නේ ඩොලර් තිබෙන්නේ කොයි කොයි දේසේ, ඩොලර් තිබෙන්නේ බංගලි දේසේ කියන එක තමයි."

මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ පැවසුවේ විදුලිබල සේවකයින් 03 වැනිදා වැඩ වර්ජනයක් කරනු ඇතැ යි තමා නොසිතනබව යි.

ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩිදුරටත් සඳහන්කර සිටියේ, "කැළණිතිස්ස එවකට තාප බලාගාරය සියයට සීයක්ම ඇමරිකන් කාරයෝනේ මෙච්චර කල් කළේ. ඊයේ පෙරේදා තමයි ජපන් සමාගම ගත්තේ. ඒ කාලේ ඒ අය බුදියගෙන ද හිටියේ? විදුලිබල මණ්ඩලය කෙරවලපිටියෙන් ගන්නේ 10%ක් වගේ විදුලියක්. 100%ක්ම විදුලිබල මණ්ඩලයෙන් විදුලිය ගන්නේ. දැන් කැළණිතිස්ස බලාගාරය ජපන් රජයට විකුණනකොට කවුරුත් කතා කළා ද? ඒගොල්ලෝ ඒ ගනුදෙනුව කර ගත්තා."

අත්‍යවශ්‍ය සේවා ප්‍රකාශයට පත් කරමින් රජයෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක් වරාය, ඉන්ධන, තැපැල්, ප්‍රවාහන, සහ රජයේ බැංකු ඇතුළු ආයතන කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් පසුගිය දා නිකුත් කෙරින.

ජනාධිපතිවරයාගේ නියෝග පරිදි ජනාධිපති ලේකම් නිකුත් කළ එම නිවේදනයට අනුව, ජන ජීවිතයට අත්‍යවශ්‍ය අදාළ සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යාම එහි අරමුණ යි.

මේ ගැසට් පත්‍රය සම්බන්ධයෙන් ලංවිම ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් පැවසුවේ, ආණ්ඩුව විදුලිබල මණ්ඩලය අමතකකර, තෙල් හා වරාය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කර ඇති බවයි.

"මේ වෙද්දී ආණ්ඩුව සූදානම් වෙලා සිටිනවා, විදුලිබල මණ්ඩලය අමතක කරලා, අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරලා තියෙන්නේ තෙල් එකයි වරායයි. ඒකෙන් විදුලිබල මණ්ඩලය ආණ්ඩුව තමන්ගේ පාලනයෙන් අයින් කරලා තියෙනවා. ඒ කියන්නේ ආණ්ඩුව සමස්ත බලශක්ති ක්ෂේත්‍රය ඇමරිකාව සතු කරන්න යනවා කියන එක පැහැදිලියි. ආණ්ඩුව ලෑස්ති වෙනවා නම් තෙල් එකටයි වරායටයි අදාළව හෝ, විදුලි බලයට අදාළව හෝ අත්‍යවශය සේවා නියෝග පනවලා ඉදිරියේ ගනු ලබන ක්‍රියාමාර්ග අත්හිටුවන්න, ඒක අසාර්ථක යි. ඒක ආණ්ඩුවට කරන්න බෑ. අපි ඒ නීතියට යටත් වෙන්නේ නැහැ."

 121309636 250919001 284510690147189 2873730562878212727 n

ජාතික ප්‍රශ්නයක්

ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ ඒකාබද්ධ වෘත්තීය සමිති නියෝජිත ඉංජිනේරු චරිත ජයනාත් දයාරත්න අවධාරණයකර සිටින්නේ, මෙම ගිවිසුම ජාතික ප්‍රශ්නයක් බවයි.

මෙමඟින් ඕනෑම රටකට මෙරට විදුලිබල ක්ෂේත්‍රයට මැදිහත් විය හැකි බව ඔහු කියා සිටියේ ය. ඔහු පවසන්නේ මෙවැන්නක් සිදුකිරීම සඳහා නිශ්චිත ක්‍රියාවලියක් ඇති බව යි.

තරගකාරී ටෙන්ඩර් කැඳවීම යටතේ, ජාතික ප්‍රසම්පාදන ප්‍රතිපත්තියට අනුව සහ රටේ ජාතික බලශක්ති ප්‍රතිපත්තියට අනුව රටට අනර්ථයක් නොවන ලෙස ඕනෑම රටකට මෙරට බලශක්ති ක්ෂේත්‍රයට මැදිහත් විය හැකි බව ද ඔහු පෙන්වා දෙන නමුත් පවතින ක්‍රියාවලිය නීතිවිරෝධී බව ඔහු පවසයි.

තුන්වැනිදා තමන් ගන්නා ක්‍රියාමාර්ගය දැනුවත් විය යුත්තන්ට දෙන පණිවිඩයක් බවද ඔහු පැවසීය.

ඉංජිනේරුවරයා රටේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, මේ ගැටලුව කුමක්දැ යි බුද්ධියෙන් සිතා බලන ලෙසයි. විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවාගේ සිට බිම් මට්ටමේ සේවකයින් දක්වා එකට එකතු වී සිටින්නේ ජාතික ප්‍රශ්නයක් වෙනුවෙන් බව ඔහු පවසයි.

ලයිට් කපයි ද?

ඉංජිනේරු චරිත ජයනාත් දයාරත්න අවධාරණය කළේ ලයිට් කැපීමක් මේ මොහොතේ සිදුනොවන බවයි.

වැඩ වර්ජනයකට යෑමට මෙතෙක් තීරණය කර නැතැ යි ද ඔහු ප්‍රකාශ කළේ ය.

මේ අතර ජලසම්පාදන මණ්ඩලයේ ඉංජිනේරුවන් පවසන්නේ විදුලි සේවකයන් හෙට දිනයේදී ක්‍රියාත්මක කිරීමට නියමිත උද්ඝෝෂණයට සමගාමීව විදුලිය විසන්ධි වීමක් සිදුවුවහොත් ජල සැපයුම සම්පූර්ණයෙන්ම ඇණහිටීම වැළැක්විය නොහැකි බවයි.

නිව් ෆෝට්ට්‍රෙස් සමාගම සමග ඇතිවූ ගිවිසුම මොකක්ද?

විදුලිය උත්පාදනය හා ස්වභාවික ද්‍රව වායු හෙවත් LNG සැපයීමට අදාළව රජය අමෙරිකානු සමාගමක් සමග මුලික එකඟතා ගිවිසුමක් අත්සන් කර ගෙන ඇත.එම ගිවිසුම මගින් කෙරවළපිටියේ දැනට ක්‍රියාත්මක වන මෙගවොට් 350 ක යුගදනවි විදුලි බලාගාරය හිමි වෙස්ට්කෝස්ට් සමාගමේ කොටස් වලින් මහා භාණ්ඩාගාරයට අයත් 40% ක් අමෙරිකාවේ නිව් ෆොට්ට්‍රෙස් නමැති සමාගමට විකිණීමටත් විදුලි බලාගාරයට ස්වභාවික ද්‍රව වායු හෙවත් LNG සැපයීමට අදාළ පාවෙන ගබඩාව හා නළ පද්ධතිය ඉදිකිරීම හා පවත්වාගෙන යාම ද අදාළ සමාගමට පැවරීමට යෝජනා වී ඇත."මේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන්නේ 2021.09.06 වෙනිදා මේ කැබිනට් පත්‍රිකාව අනුමත කරනකොට කිසි ඇමතිවරයෙක් ගාව මේ කැබිනට් පත්‍රිකාව නෑ. දැකලා නෑ. හැබැයි කැබිනට් මණ්ඩලය අනුමත කරනවා. අනුමත කරලා කියනවා. මෙහෙම කොටස් විකිණීමේ හා මිලදී ගැනීමේ ගිවිසුම අත්සන් කිරීමෙන් පසු එය අනුමත කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ඇත. අත්සන් කරාට පස්සේ මොකක්ද අනුමත කරන්න කියන්නේ. අත්සන් කරලා ඉවරයි," ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක පසුගියදා අනාවරණයක් කරමින් පැවසීය.

"මේ ගිවිසුම අත්සන් කරලා තියෙන්නේ 17 වෙනිදා රෑ 12 පසුවි විනාඩි 06 ට සිකුරාදා රාත්‍රීයේ රෑ 12 ට ගිවිසුම් අත්සන් කරනවා, රට ගැන අත්සන් කරලා ආපු සුද්දා පාන්දර 2 ට තියෙන ෆලයිට් එකේ ඇමරිකාවට යනවා. ඕකයි සිද්ද වුණේ, ඔබ හිතනවාද මේ රටේ රෑ 12 .06ට ගිවිසුම් අත්සන් කරන්න. බකමුණො ද මේ ගොල්ලෝ. නිසාචරයින්ද?"

ඔහු තවදුරත් පැවසුවේ බලශක්ති ක්ෂෙත්‍රයේ අයිතිකාරයන හෙට අපේ රටේ ආණ්ඩු තීරණය කරන බවත් මෙය වළක්වා ගැනීම සඳහා ඔවුන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අපෙක්ෂා කරන බවයි.පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසන්නේ, එක් අතකින් මෙය බලශක්ති සෛවරීත්වයට ප්‍රශ්නයක් බවත් අනෙක් අතින් ඇමරිකාවේ දේශපාලන බලපෑමට යුද බලපෑම්වලට එකඟ වීමට සිද්ධ විය හැකි බවයි.තෙල් බෙදා හැරිමෙන් තුනෙන් එකක් ඉන්දියාවට ලබාදී ඇති බවත් මුතුරාජවෙල අක්කර 109 ක් ගොඩකර චීන සමාගමකට විදුලි බලාගාරයක් පිහිටුවීමට ඉඩ දී ඇති බවත් මේ අනුව රටේ බලශක්ති සම්බන්ධ සම්පූර්ණ තීරණ ගන්නේ ඇමරිකාව, චීනය සහ ඉන්දියාව බවටත් ඔහු චෝදනා කර සිටීයි."එක පැත්තකින් මේක බලශක්ති ස්වරීත්වයට ප්‍රශ්නයක්. එතනින් පස්සේ බලශක්තිය මත අපිට ගෙදර ලයිට් එක දාගන්න නම් ඇමරිකාවේ දේශපාලන බලපෑමට යුධ බලපෑම්වලට එවට එකඟ වෙන්න සිද්ද වෙනවා. සමස්ත තෙල් බෙදා හැරිමෙන් තුනෙන් එකක් ඉන්දියාවට ලබාදුන්නා. මුතුරාජවෙල අක්කර 109 ක් ගොඩකරලා චීනයේ විදුලිබලාගාරයක් චීන සමාගමකට අයත් විදුලි බලාගාරයක් දැන් හදමින් යනවා."

"මේක සිද්ද වෙන්නේ පාර්ලිමේන්තුවට සම්පූර්ණ පිටස්තරව. මොක්ද වසංගතයට වඩා භායනකයි මේවා. ද්විත්ව පුරවැසි බැසිල් රාජපක්ෂ නැවත පැනලා යයි තමන්ගේ රටට ගියාට පස්සේ ලංකාව තුළ හිරවෙන්නේ මේ නිලධාරීන් ඒ නිසා අපි නිලධාරීන්ට කියනවා. මේවට මැදිහත් වෙන්න ඒපා මේවට අත්සන් කරන්න ඒපා"

රජය මෙම චොදනා ප්‍රතික්ශේප කරන අතර ඔවුන් පවසන්නේ මෙය රාජ්‍ය පෞද්ගලික ආයෝජනයක් මිස විකිණීමක් නොවන බවයි.