Language Switcher

V2025

නීතිපති චෝදනා ඉවත් කරගෙන : නඩුවෙන් බැසිල් නිදහස් !

ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී සිදු කළ GI බට සම්බන්ධ මුදල් අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් නඩු පවරා සිටි වත්මන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ කිංස්ලි රණවක එම චෝදනාවලින් නිදහස් වී ඇත.

ඒ නීතිපතිවරයා විසින් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ කිංස්ලි රණවක යන අයට එරෙහිව වූ අධි චෝදනා පත්‍ර ඉල්ලා අස්කර ගැනීම හේතුවෙනි.

2015 ජනාධිපතිවරණ සමයේදී දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීමේ අරමුණින් දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් ලක්ෂ 365 කට අධික මුදලක් වැය කොට ජී. අයි. බට මිලිදී ගෙන පළාත් පාලන ආයතනවලින් ඉල්ලීමක් නොතිබියදීත්, ඒවා එම ආයතන වෙත බෙදා හැරීමෙන් සාපරාධී පරිහරණය ඇතුළු අධිචෝදනා තුනක් යටතේ නීතිපතිවරයා එම විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව නඩු පවරා තිබිණ.

එම නඩුව අද කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අසාද් නවාවි කරුණු දක්වීය.

එම චෝදනාවලට හා සමගාමී චෝදනා යටතේ මෙම විත්තිකරුවන් දෙදෙනා ඇතුළු විත්තිකරුවන් 4 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා පවරා තිබු නඩුවකින් කොළඹ වෙනත් මහාධිකරණයක් විසින් ඔවුන් නිදොස් කර නිදහස් කර ඇති බව ඔහු පෙන්වා දුන්නේ ය.

කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා විසින් 2020 නොවැම්බර් 30 වැනිදා අංක 8222-2016 යටතේ නිකුත් කර ඇති එම නියෝගය අනුව මෙම නඩුවේ අධිචෝදනා තවදුරටත් පවත්වාගෙන යාමට නීතිපතිවරයා අදහස් නොකරන බැවින් අධිචෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගැනීමට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අසාද් නවාවි  අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියේ ය.

එම ඉල්ලීමට අවසර ලබාදුන් මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ  විත්තිකරුවන් එම අධිචෝදනාවලින් නිදහස් කිරීමට නියෝග කළේ ය.