Language Switcher

V2025

විමල් දන ගහයි ?

කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරයේ කොටස් විදේශ සමාගමකට පැවරීමෙන් බලාගාරයේ කළමනාකරණ බලය එම සමාගමට නොලැබෙන්නේ නම් අදාළ ගිවිසුම පිළිබඳ සලකා බැලිය හැකි බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ පවසයි.

මාධ්‍ය සිදුකළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ අදහස් දක්වා ඇත.

එහිදී මාධ්‍ය විමසා සිටියේ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසා ඇති , යුගදනවි බලාගාරය පිළිබඳව කැබිනට් මණ්ඩලයට දැනුම් දී අනුමැතිය ලබාගත් බවට වන ප්‍රකාශය ගැනය.

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ ඊට සෘජු පිළිතුරක් ලබා දීමෙන් වැළකී සිටි අතර, ඒ වෙනුවට ,“ප්‍රසන්න රණතුංග ඇමතිතුමා එහෙම කියනවානම් ඒක කැබිනට් සාමූහික වගකීමත් එක්ක ගැටෙනවා. මොකද අමාත්‍ය මණ්ඩලයේ සිදුවෙච්ච දෙයක් සිදුවෙච්ච ආකාරය පිළිබඳව අපි කතා කළ යුතු වන්නේ නැහැ” යැයි පවසයි

එසේම එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද සඳහන් කරයි.

“LNG සැපයුම තනි අමෙරිකානු සමාගමක් අතර දීර්ඝ කාලීනව නතු වෙනවා වගේ පෙනෙනවා නම් ඒ කරුණු ගැන අපි සංවේදියි. ඒ ගැන තමයි අපි සාකච්ඡා කරන්නේ, ජනාධිපතිතුමාත් එක්ක. දැන් අත්සන් කරලා ඉවර වෙලා තියෙන්නේ යුගදනවි බලාගාරයේ මහා භාණ්ඩාගාරය සතුව තිබිච්ච කොටස් සීයට හතෙන් සීයට හතළිහක් එම සමාගමට දීලා තියෙනවා. ඒ ඩොලර් මිලියන 250ක ට.

ඒ ගිවිසුම තමයි මේ අත්සන් කරලා තියෙන්නේ. මේ ගැන අපි මුදල් ඇමතිතුමා ඇතුළු නිලධාරීන් සමඟ පැවතිච්ච සාකච්ඡාවකදී ඇහැව්වා මේ කොටස් සීයට හතලිහ ගැනීම සමඟ යුගදනවි බලාගාරයේ පාලන බලය මේ සමාගමට යනවද කියලා. එතෙන්දි විදුලි බල මණ්ඩලයේ වත්මන් සභාපතිතුමා පැහැදිලිව කිව්වා සීයට හතළිහේ කොටස් ගියාට පාලන බලය තියෙන්නේ ආණ්ඩුව අතේ කියලා.

කෙසේ වෙතත් අමාත්‍ය මණ්ඩලයට ඒ ගිවිසුම ඉදිරිපත් කළ යුතුව තිබෙනවා ඉදිරිපත් කරපු අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අනුව. විදුලි බල මණ්ඩලයේ සභාපතිතුමා කියන විදිහට මේ සමාගමට ඒ යුගදනවි බලාගාරයේ මැනේජ්මන්ට් පවර් එකක් යන්නේ නැත්නම් ඒක අපිට සලකා බැලිය හැකි තත්වයක්. මොකද යුගදනවි එක අවුරුදු පහළොවකින් කොහොමත් විදුලි බල මණ්ඩලයට අයිති වෙනවා”

ප්‍රසන්නගේ ප්‍රහාරය !

කෙසේ වුවත් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසා සිටියේ ආණ්ඩු පක්ෂයේ ඇතැමුන් පවසන පරිදි කෙරවලපිටිය යුගදනවි LNG බලාගාරය පිළිබඳව කැබිනට් මණ්ඩලයට නොදැන්වූ බව කියන ප්‍රකාශයන් බොරු බවයි.

අදාළ ගිවිසුම පිළිබඳව තොරතුරු කැබිනට් මණ්ඩලයට ගෙනවිත් පසුව ඊට අත්සන් තැබූ බවත් අමාත්‍යවරයා පවසයි .

එසේම අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ "LNG එක ගෙනාපු එක දීපු ගැන පැහැදිලිව කැබිනට එකට කැබිනට් පත්‍රිකාවක් ගෙනාවා. කැබිනට් එකට ගෙනාපු ඒ පත්‍රිකාවට සියලු දෙනාම එකඟ වුණා. ජනාධිපතිතුමා මේකේ තියන ආර්ථික වටිනාකමත් රටේ අවශ්‍යතාවයත් පැහැදිලි කරලා දුන්නා. ඒ වෙලාවේ කව්රුවත් කතා කළේ නැහැ. ඒ නිසා දැන් ඒක ක්‍රියාත්මක වෙනවා" කියාය.