අත්තනගල්ලට පැමිණි ප්‍රාග් මානවයා විසූ අලවල ලෙන

අත්තනගල්ලට පැමිණි ප්‍රාග් මානවයා විසූ අලවල ලෙන

ගම්පහ අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ, අලවල උතුර ග්‍රාමසේවා වසමේ අත්තනගලු ඔය ඉහළ නිම්නයේ අතු ගංගාවලින් පෝෂණය ලබන ප්‍රදේශයක තමයි අලවල ලෙන පිහිටා තිබෙන්නේ.

මේ පෙදෙස පැරණි බෙදීම් අනුව සියනෑ කෝරළේ උඩගහපත්තුවට අයත්වෙනවා. අත්තනගල්ල අලවල ගුහාවේ පුරාණ මානවයා ( බලංගොඩ මානවයා) ජීවත්ව සිටියේ මීට අවුරුදු දාහතර දහසකට එපිටින්.

අලවල ලෙන පිහිටීම

මුලින්ම පොත්ගුල් ලෙන ලෙස හඳුන්වා ඇත්තේ පොත්ගුලක් හෙවත් පුස්තකාලයක් පැවතියේය යන විශ්වාසය නිසා යි. ඓතිහාසික යුගයේ භික්ෂු වාසයට නතුව පැවති මේ ලෙන ප්‍රාග් ඓතිහාසික මානවයන් වාසය කළ වාසස්ථානයක් බව මෑතක දී හෙළි වුණා. පොත්ගුල් ලෙන අවට පිහිටි ප්‍රදේශය අඩි 800ත් 1,300ත් අතර උසකින් යුක්‌ත යි. අවට අඩි 1,286ක උසකින් ඇතාබැඳි ලෙනත්, අඩි 984ක්‌ උස අලවල මහ කන්දත්, අඩි 842ක්‌ උස කහගල කන්දත්, පිහිටා තිබෙනවා. පොත්ගුල් ලෙන පිහිටා ඇත්තේ අඩි 1,029ක්‌ තරම් උස්‌ කඳු ගැටයක යි. මෙය අත්තනගලු ඔයේ අතු ගංගාවලින් පෝෂණය ලබන ප්‍රදේශයක පිහිටා තිබෙනවා.

655836476 10163240327763271 9037380726137835728 n

මෙහි පිහිටීම භූ විද්‍යාත්මක සාධක අනුව විමසා බලන විට ප්‍රාග්කේම්බීය යුගයට අයත් විජයානු ශ්‍රෙණියේ පාෂාණවලින් නිර්මාණය වී තිබෙනවා. ප්‍රදේශයේ වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර් 2500ත් 3000ත් අතර වෙනවා. දැනට තිබෙන පරිසර සාධකවලට අනුව අලවල ගුහාව අවට, අතීතයේ දී වැසිවනාන්තර ආවරණයක්‌ පැවතුණ බව පෙනී යනවා. පොත්ගුල් ලෙනෙහි කොටා ඇති සෙල්ලිපියක් ද මෑත ගවේශණවලින් හමුවුණා. එයට අනුව මෙයට නුදුරින් පිහිටි වාරණ, පිළිකුත්තුව, ලෙනගල, සල්ගල යනාදි ක්‍රි. පූ. යුගයේ සෙල්ලිපි හමුවන ස්ථාන සමග මේ ස්ථානය ද පුරාණ භික්ෂූන් බවුන්වැඩූ තැනක් ලෙස පැවත තිබෙනවා. ක්‍රි. පූ. 1වන සියවසේ බ්‍රාහ්මී අක්‍ෂරවලින් ලියවුණු සෙල්ලිපියේ “ගමික තිස ලෙන” ලෙස සඳහන් වෙනවා. ගම් ප්‍රධානී තිස්සගේ ලෙන යන්න එහි අරුත යි.;

මෙහි මුලින්ම කැණීම් කළේ වර්ෂ 2008-2009 වර්ෂවලයි. පුරාවිද්‍යා ප්‍රශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය ගාමිණි අධිකාරි ප්‍රමුඛ පර්යේෂකයන් විසින් කරන ලද එම කැණීම්වලින් මෙම ලෙන ඉතා වැදගත් ප්‍රාග් ඵෙතිහාසික ස්‌ථානයක්‌ බවට නිශ්චිතව හඳුනා ගැනීමට හැකි වුණා.blangoda

එය බලංගොඩ මානවයා හෙවත් මධ්‍ය ශිලා යුගයේ ජිවත් වූ නූතන මානවයා අලවලට පැමිණි අවස්ථාවක් ලෙස හැඳින්විය හැකියි. කැණීම්වල දී ලැබුණු පුරාවිද්‍යාත්මක සාධකවලට අනුව මේ ගල්ගුහාවේ අදින් වසර 14000කට පමණ පෙර මිනිසුන් වාසය කළ බවට කරුණු හෙළි වී තිබෙනවා. කැණිම්වලින් හමු වූ සත්ත්ව විශේෂ පිළිබඳව කළ වර්ගීකරණයේ දී මකුළු විශේෂ 3ක්‌, කුඹල් විශේෂ 2ක්‌, ගෝනුසු විශේෂ 1ක්‌ සහ සලබ විශේෂ 2ක්‌ හඳුනා ගන්නට ලැබුණා.

ආහාරයට ගත් සතුන්

මානවයන් මිරිදිය මත්ස්‍ය විශේෂ කීපයක්‌ ආහාරයට ගෙන තිබෙන බව උන්ගේ කටු ලෙන තුළින් හමුවීමෙන් පැහැදිලි වෙනවා. ඒ ලෙහෙල්ලා, මස්‌පෙතියා, අංකුට්‌ටා, මගුරා, හුංගා යන මත්ස්‍යයන්ගේ. අවට දොළ පාරවල්වල අදත් ජීවත්වන ආඳා, පෙතියා, දණ්‌ඩියා, වලපොත්තා, කොරළියා, කාවයියා, කනයා, ගංතෙලියා, වැලිගොව්වා යන මත්ස්‍ය විශේෂත් ඔවුන් ආහාරයට ගෙන තිබෙන බව පේනවා.

ගුහා පරිසරයෙන් හමුවන උරග අවශේෂ අතර පිඹුරන්ගේ ඇටකටු, තලගොයින්ගේ හා කබරගොයින්ගේ කශේරුකා දැක්විය හැකියි. මේවායින් බොහොමයක්‌ පුළුස්‌සා ඇති අතර කැපුම් සහ තැළුම් ලකුණු ද දක්‌නට පුළුවන්. ගල් ඉබ්බාගේ සහ කිරි ඉබ්බාගේ පිටකටුත් හමුවී තිබෙනවා. ඉබිමස් කන්නත් අලවල මානවයා කැමැත්තක් දක්වා තිබෙන බව එයින් පේනවා. පිලිස්සූ ගැටහොඹු කටුස්‌සාගේ ඇටකටු පැහැදිලි කරන්නේ කටුසු මසුත් ආහාරයට ගෙන ඇති බව යි. දියබරියන්ගේ සහ ගැරඬින්ගේ යැයි සිතිය හැකි අස්ථි කොටස් ද ලෙනෙන් හමුව තිබෙනවා. එදා ගැරඬිත් ඔවුන්ගේ බොජුන් වේලට එක්කර ගන්නට ඇති.

657810314 10163240327583271 2584709262300081169 n

බස්නාහිර පළාතේ ද ව්‍යාඝ්‍රයෝ

ගුහාවෙන් පක්ෂි විශේෂ කිහිපයක අවශේෂ හමුවී තිබෙනවා. අපට ආවේණික පක්ෂි විශේෂ දෙකක් වන ශ්‍රී ලංකා හබන් කුකුළා සහ ශ්‍රී ලංකා වලි කුකුළාට අයත් අස්ථි ශේෂ ලැබී තිබෙනවා. අදත් ඇතැමුන් ආහාරයට ගන්නා මේ පක්‍ෂි විශේෂ දෙකම අලවල මානවයා විසින් ද පුළුස්සා කා තිබෙනවා. අද නම් මේ පක්ෂින් අවට දැකගැනීම අසීරු යි. කළු වඳුරන් සහ රිලවුන් ද, වැලිමුවා, මීමින්නා, සහ වල් ඌරා ද ඔවුන් දඩයම් කර තිබෙනවා. අලවල ලෙනින් හමු වූ විශාලතම ක්‍ෂීරපායි සත්ත්ව අවශේෂ අතර ව්‍යාඝ්‍රයාට අයත් අවසන් ඇඟිලි පුරුක්‌ කොටස විශේෂත්වයක්‌ ගන්නවා. කුරුවිට බටදොඹ ලෙනෙහි වසර 1982 දී කළ කැණීම්වලින් අදින් වසර 17000කට අයත් ව්‍යාඝ්‍ර අවශේෂ 4ක්‌ හමු වුණා. 2009 මුල්භාගයේ දී පාහියන්ගල කළ කැණීමක දී අදින් වසර 20000කට අයත් ව්‍යාඝ්‍ර අස්ථි ශේෂ දෙකක්‌ හමු වුණා. ප්ලයිස්‌ටෝසීන අවදියේ සබරගමුව අවට ජීවත් වූ බවට සාධක සහිත වඳ වී ගිය ව්‍යාඝ්‍ර අස්‌ථි ශේෂයක්‌ පළමු වරට ගම්පහ කලාපයෙන් හමුවීමෙන් පෙනෙන්නේ ව්‍යාඝ්‍රයා බස්නාහිර ප්‍රදේශයේත් ව්‍යාප්තව සිටි බව යි.

මානව ඇටකටු

bla

අලවල ලෙනින් සොයාගත් මානව අස්‌ථි කුඩා කැබැලි වශයෙන් තමයි හමුවී තිබෙන්නේ. ඒවාත් ඉක්‌මනින් කැඩී යන ස්‌වරූපයක්‌ දකින්න ලැබුණා. හිස්‌කබල් කොටස්‌ 29ක්‌, යටි හනු 2ක්‌, කෘන්තක දත් 6ක්‌, රදනක දත් 2ක්‌, චාර්වක දත් 14ක්‌, දිගු අස්‌ථි කැබැලි 7ක්‌, දණිස්‌කටු ආදී වශයෙන් අස්ථි ශේෂ ලැබී තිබුණා. හිස්‌කබල් කොටස්‌ 7ක පමණ ගුරු ගල් ආලේප කර තිබුණා. ගුරුගල් ආලේප කළ හිස්‌කබල් පාහියන්ගල බටදොඹ ලෙන සහ රාවණාඇල්ල ලෙන්වලින් ද හමුවී තිබෙනවා. බලංගොඩ මානවයන්ගේ ලෙන්වලින් ඔවුන් එකල පැලඳි ආභරණ ගැන සාධක ලැබෙන්නේ ඉතා අඩුවෙන්.

අලවල ලෙන මානවයා ශරීර අලංකරණය කෙරෙහි උනන්දුවක් දැක්වූ බවට සාක්ෂි හමුව තිබෙනවා. මුහුදු බෙලිකටු, කවඩි, කුඩා මුහුදු බෙල්ලන් සිදුරු කර එකට අමුණා හෝ වෙන් වෙන්ව ආභරණයක්‌ ලෙසට හෝ භාවිතයට ගන්නට ඇති බව පෙනෙනවා. කැණීම්වලින් හමු වූ මැද සිදුරක් විදින ලද මෝර දත ආභරණයක් ලෙස භාවිත කරන ලද්දක් බව පුරාවිද්‍යා නිගමනය යි.

කුසුම්සිරි විජයවර්ධන

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න