Language Switcher

V2025

වෘත්තීය සමිතියක් පිහිටුවීම නිසා සේවකයින් 16ක් දොට්ට දාලා !

වෘත්තීය සමිතියක් පිහිටුවීම නිසා අසාධාරණ ලෙස සේවයෙන් පහ කළ සේවකයින් 16 දෙනෙකු නැවත සේවයේ පිහිටුවීම සඳහා හදිසි පියවර ගන්නා ලෙස වෘත්තීය සමිති 22ක් කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා වෙතින් ලිඛිත ඉල්ලීමක් සිදුකර ඇත.

වතුපිටිවල ඒටීජී ග්ලවුස් නිටිං ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය විසින් මේ ආකාරයට වෘත්තීය සමිතියක් පිහිටුවීම සම්බන්ධයෙන් සේවකයින් සේවයෙන් පහකිරීම සිදුකර ඇත.

මේ සම්බන්ධයෙන් කම්කරු දෙපාර්තමේන්තුව නියමිත පරිදි කටයුතු කර නොමැති බවත් අදාළ ලිපිය තුළ සඳහන් කර තිබේ.

නිදහස් වෙළෙඳ කලාපය නියෝජනය කරන වෘත්තීය සමිති එකතුව නිකුත් කළ ලිපිය පහත දැක්වෙයි.

2021 සැප්තැම්බර් 21 දින ගරු කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙහෙවර පියස 151 කිරුල පාර කොළඹ 5.

ඇමතිතුමනි

වෘත්තීය සමිතියක් පිහිටුවීම නිසා අසාධාරණ ලෙස සේවයෙන් පහ කළ සේවකයින් 16 දෙනෙකු නැවත සේවයේ පිහිටුවීම සඳහා හදිසි පියවර ගන්නා ලෙස ඉල්ලීම !

එක්සත් කම්කරු සම්මේලනයට අනුබද්ධ වෘත්තීය සමිතියක් වන වාණිජ හා කාර්මික සේවක සංගමය විසින් 2021 අගෝස්තු 20 වන දින වතුපිටිවල ඒටීජී ග්ලවුස් නිටිං ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ වෘත්තීය සමිති ශාඛාවක් පිහිටවූ බව ඔබ දන්නා කාරණයකි. වාණිජ හා කාර්මික සේවක සංගමය, මෙම ශාඛා සංගමය පිහිටුවීම පිළිබඳව සමාගමට දැනුම් දුන් විගස සමාගම විසින් දින 4 ක කාලයක් තුළදී සංගමයේ සාමාජිකයින් 16 දෙනෙකු සේවයෙන් පහ කර ඇත.

2021 අගෝස්තු 24 වන දින පැවති ජාතික කම්කරු උපදේශක සභා රැස්වීමේ දී ඔබතුමා මේ කාරණය මතු කළ විට, නිදහස් වෙළඳ කලාප හා පොදු සේවා සේවක සංගමයේ සහ අන්තර් සමාගම් සේවක සංගමයේ නියෝජිතයින්, ඒටීජී සමාගම වසර ගණනාවක සිට ක්‍රියාත්මක කරන මේ හා සමාන වෘත්තීය සමිති බිඳ දැමීමේ හා අසාධාරණ කම්කරු පරිචයන් පිළිබ‍ඳව ඔබගේ අවධානයට යොමු කළහ. ඔබ විසින් කම්කරු දෙපාර්තමේන්තුව හරහා මෙම ගැටළුව විසඳීමට භාර ගන්නා ලදී. වතුපිටිවල ඒටීජී සමාගමේ මෙම වෘත්තීය සමිති බිඳ දැමීමේ සිදුවීම සිදුවී අදට මාසයක් ගත වී ඇත. එම සමාගමට එරෙහිව අසාධාරණ කම්කරු පරිචයන් පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කිරීමට කම්කරු දෙපාර්තමේන්තුව මේ දක්වා කටයුතු කර නැත.

වතුපිටිවල ඒටීජී සමාගම මෙබඳු බරපතල නීති විරෝධී කටයුත්තක් සිදු කළද කිසිවකුගේ බලපෑමකින් හෝ බාධාවකින් තොරව එහි නිෂ්පාදන කටයුතු අඛණ්ඩව කරගෙන යයි. එසේ වුවද වෘත්තීය සමිතියකට සම්බන්ධ වීම හේතුවෙන් සේවයෙන් පහ කළ සේවකයින් 16 දෙනා සහ ඔවුන්ගේ පවුල්වල අය රැකියාව නොමැති බැවින් අද කොවිඩ් වසංගතය මධ්‍යයේ ආහාර හා ඖෂධ ඇතුළු එදිනෙදා අත්‍යාවශ්‍ය ද්‍රව්‍යවලට අවශ්‍ය වියදම් පියවා ගැනීමට පොරබදමින් සිටිති.

කම්කරු දෙපාර්තමේන්තුව විසින් සොයා බැලීමට ලක්නොවූ වෘත්තීය සමිති බිඳ දැමීමේ පළමු අවස්ථාව මෙය නොවන බව ඔබ නිසැකවම දන්නා කරුණකි. කම්කරු නඩු ක්‍රියා මාර්‍ග දිග්ගැස්සෙන විට ඉවත් කරන ලද සේවකයින් සුළු විසඳුමක් සඳහා එකඟවන බව නිදහස් වෙළඳ කලාප කර්මාන්ත ශාලා හිමියන් හොඳින් දනිති. වසර ගණනාවක් තිස්සේ පැවති දිග්ගැස්සුනු නඩු විභාගවලින් පසුව සේවයෙන් පහ කරන ලද සේවකයින් තම ගැටළුව නිරාකරණය කර ගන්නා විට, නව සේවකයින් වෘත්තීය සමිතියට බැඳීමෙන් තම රැකියා අවදානමට ලක් කර ගැනීමට අකමැති වන නිසා වෘත්තීය සමිතිය කර්මාන්තශාලාව තුළ තවදුරටත් ක්‍රියාත්මක නොවේ. අසාධාරණ කම්කරු පරිචයන්ට එරෙහිව නීති පැනවීම සඳහා 1999 දී කාර්මික ආරවුල් පනත සංශෝධනය කළද නීතිය ක්‍රියාත්මක කිරීම මන්දගාමී හා අකාර්යක්ෂමය. එම නිසා පොත්වල නීති තිබුනත්, තමන් වෘත්තීය සමිති පිහිටුවීමට උත්සාහ කරන විට සේවකයින්ට රැකවරණයක් නොමැති හෙයින් වෘත්තීය සමිති බිඳ දැමීමට හාම්පුතුන්ට හැකි වී තිබේ. පසුගිය අවුරුදු 21 තුළ සිදු වූ අසාධාරණ කම්කරු පරිචයන් සම්බන්ධ වැරදි ගැන මහේස්ත්‍රාත් අධිකරණවල ගොනු කර ඇති නඩු සංඛ්‍යාවෙන් එය සනාථ වේ.

එම නිසා වෘත්තීය සමිති වශයෙන් අපි ඔබෙන් ඉල්ලා සිටින්නේ මෙම කරුණට මැදිහත් වී ඉවත් කළ සේවකයින් නැවත සේවයේ පිහිටුවන බවට සහතික වන ලෙසයි. ශ්‍රී ලංකා රජයේ අවසරය සහ කැමැත්ත නොමැතිව කිසිදු සමාගමකට නිදහස් වෙළඳ කලාප තුළ අඛණ්ඩව කටයුතු කළ නොහැක. අද ලංකාවේ කම්කරු නීති වෘත්තීය සමිති බිඳ දැමීම වැළැක්වීමට තරම් ශක්තිමත් නොවිය හැකි නමුත් අමාත්‍ය කාර්යාලය නීති සංශෝධනය කිරීම් සම්බන්ධව සක්‍රීයව කටයුතු කරමින් සිටින බැවින් සේවකයින්ගේ අයිතිවාසිකම් සහ රැකියාවල ආරක්‍ෂාව සහතික කළ හැකි බව අප සලකමු.

රජය අපනයන අංශයේ සේවකයින් අත්‍යවශ්‍ය සේවකයින් ලෙස කටයුතු කර ඔවුන් කොවිඩ් -19 අර්බුදයේදී ආර්ථිකය සඳහා ඔවුන්ගේ ශ්‍රම දායකත්වය ඇගයීමට ලක් කළේය. මේ තිරසාර වැඩ පරිසරයක් ඇති කිරීම සඳහා අත්‍යවශ්‍ය වන වෘත්තීය අයිතිවාසිකම් සුරැකීම සහ වෘත්තීය සමිති ආරක්ෂා කිරීමට කටයුතු කිරීම, කම්කරුවන්ගේ අඛණ්ඩ සහයෝගීතාව දිගටම ලබා ගැනීමට මග පෙන්වීමක් විය හැකි යැයි අපි විශ්වාස කරමු. මේ සඳහා රජයේ මැදිහත් වීමක් නොමැති විට, ජාත්‍යන්තර ආයතන මත විශ්වාසය තැබීමට කම්කරුවන්ට හා සේවක සංවිධාන වලට සිදු වේ. එම නිසා, කම්කරුවන්ගේ අයිතිවාසිකම් විශේෂයෙන්ම සංවිධානය කිරීමේ අයිතිය ආරක්ෂා කිරීමට රජයට හැකියාව පවතින බවට කම්කරුවන්ගේ හා වෘත්තීය සමිතිවල විශ්වාසය ශක්තිමත් කිරීම ජාතික අවශ්‍යතාවයක් ලෙස සලකා මෙම කම්කරු නීති උල්ලංඝනය කිරීමේ ගැටලුවට මැදිහත් වී පියවර ගන්නා ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු.

පහත සඳහන් අත්සන් කර ඇති වෘත්තීය සමිති රජයෙන් ඉල්ලා සිටින්නේ මේ සම්බන්ධයෙන් මැදිහත් වී වතුපිටිවල ඒටීජී සමාගම එහි සේවකයින් 16 දෙනෙකු සම්බන්ධයෙන් ගත් නීති විරෝධී ක්‍රියා මාර්‍ගය ගැන ප්‍රශ්න කරන ලෙසයි. නුදුරු අනාගතයේ දී වෘත්තීය සමිති සමඟ සම්බන්ධ වීමේ අයිතිය සේවකයින්ට භුක්ති විඳීමට ලැබෙනවාද නැද්ද යන්න ඔබ ගන්නා කඩිනම් හා කාර්‍යක්‍ෂම ක්‍රියාමාර්ග මඟින් තීරණය වනු ඇත.

පහත සඳහන් වෘත්තීය සමිති වෙනුවෙන් අත්සන් කළේ

ඩී ඩබ්ලිව් සුබසිංහ ප්‍රධාන ලේකම් ලංකා වෘත්තීය සමිති සම්මේලනය

  1. චන්න දිසානායක – සභාපති, ලංකා බැංකු සේවක සංගමය

  2. ඇන්ටන් මාකස් - සම ලේකම්, නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය

  3. රොබට් ෆ්‍රැන්සිස් - ප්‍රධාන ලේකම්, ලංකා වතු සේවා සංගමය

  4. සිල්වෙස්ටර් ජයකොඩි - ප්‍රධාන ලේකම්, ලංකා වෙළඳ කර්මාන්ත සහ පොදු සේවක සංගමය

  5. ලෙස්ලි දේවේන්ද්‍ර - ප්‍රධාන ලේකම්, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය

  6. පාලිත අතුකෝරල - සභාපති, ශ්‍රී ලංකා වෙළඳ නාවිකයන්ගේ සංගමය

  7. වසන්ත සමරසිංහ - සභාපති, අන්තර් සමාගම් සේවක සංගමය

  8. සී ටී ඇටමොරතැන්න - ප්‍රධාන ලේකම්, තැපැල් සහ විදුලි සංදේශ නිළධාරීන්ගේ සංගමය

  9. ලලිතා දෙද්දූවකුමාර - ප්‍රධාන සංවිධායක, ඇඟළුම් සහ රෙදිපිළි සේවක සංගමය

  10. ජෝසප් ස්ටාලින් - ප්‍රධාන ලේකම්, ලංකා ගුරු සංගමය

  11. උදේනි දිසානායක - ප්‍රධාන ලේකම්, ජාතික වෘත්තීය සමිති පෙරමුණ

  12. සුනිල් ද සිල්වා - උප සභාපති, ජාතික සේවක සංගමය

  13. ජගත් ගුරුසිංහ - සම ලේකම්, තොරතුරු සහ විදුලි සංදේශ සියළු සේවක සංගමය

  14. හරිප්‍රිය හෙට්ටිආරච්චි - සභාපති, ටෙලිකොම් ඉංජිනේරුමය ඩිප්ලෝමාධාරීන්ගේ සංගමය

  15. ලාල් බංගමුව - සභාපති, ස්වාධීන වරාය සේවක සංගමය

  16. ඩී ඩබ්ලිව් යූ ආර් දිවාකර - සභාපති, රක්ෂණ සේවක සංගමය

  17. ටී එම් ආර් රසඩීන් - ප්‍රධාන ලේකම්, ලංකා කම්කරු සම්මේලනය

  18. ධර්මසිරි ලංකාපේලි - ප්‍රධාන ලේකම්, මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය

  19. කල්ප මධුරංග - ප්‍රධාන ලේකම්, ප්‍රොටෙක්ට් සංගමය

  20. චමිලා තුෂාරි - ලේකම්, ඩාබිඳු සාමුහික සංගමය

  21. අශිලා දංදෙනිය - ප්‍රධාන ලේකම්, ස්ටෑන්ඩ්අප් සේවක සංගමය

  22. ලීනස් ජයතිලක - සභාපති, එක්සත් කම්කරු සම්මේලනය

(සංරක්ෂිත ඡායාරූපයකි)