රජයේ වියදම් සීමා කරන්න - මුදල් ඇමති

රජයේ වියදම් සීමා කරන්න - මුදල් ඇමති

රජයේ වියදම් සීමා කිරීම මෙන්ම අනවශ්‍ය වියදම් කපා හරින්නැයි මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇත. 

රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ  ඊයේ(30) කැබිනට් රැස්වීමේදී කරුණු පැහැදිලි කර තිබේ.

එහිදී අදහස් දක්වා ඇති ඔහු පවසා ඇත්තේ  කොවිඩ් වසංගතය හමුවේ ආර්ථිකය බරපතළ ගැටලුවකට මුහුණ දී ඇති බැවින් ,රජයේ අපේක්ෂිත ආදායම විශාල ලෙස පහතවැටී ඇති අතර ,මේ වසරේ පුනරාවර්තන වියදම් පියවාගැනිමට පවා එය ප්‍රමාණවත් නොවන බවය.

මේ තත්වය තුළ , රජයේ ප්‍රතිපාදන වෙන් වී ඇතත් ,මෙතෙක් ආරම්භ කර නොමැති ව්‍යාපෘති,මිලදී ගැනීම්,ගොඩනැගිලි ඉදිකිරීම්, ගොඩනැගිලි අලුත්වැඩියා කිරීම් ආදිය අත්හිටුවන ලෙස මුදල් අමාත්‍යාංශය අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම් දී තිබේ .

කැබිනට් රැස්වීමේදී  පහත සදහන් කරුණු කෙරෙහි ද දැඩිව අවධානය යොමු කරන ලෙස අමාත්‍යවරයා දැනුම් දී ඇත.

එනම්, සේවක බඳවා ගැනීම් සඳහා මූලික කටයුතු සිදු කර මෙතෙක් පත්වීම් ලිපි නිකුත් නොකළ, තනතුරු සඳහා බඳවා ගැනීම් අත්හිටුවීමට ද රජය තීරණය කර තිබේ .

සුභ සාධන කටයුතු සඳහා හඳුනාගෙන ඇති ප්‍රතිලාභී ලැයිස්තු නැවත සමාලෝචනය කර සහනාධාර අඩුආදායම්ලාභින්ට පමණක් සීමා කිරීමට ද තීරණය කර ඇත.

මේ අතර ,අමාත්‍යංශ ලේකම්වරුන්ගේ හා දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ අනුමැතිය මත, ගෙවනු ලබන වැටුප් නොවන දීමනා සහ බිල්පත් පියවීම් යනාදිය නැවත සමාලෝචනය කර, සේවයේ සැබෑ ලෙසම නිරතවන නිලධාරීන්ට පමණක් ගෙවීමට ද මුදල් අමාත්‍යාංශය නිර්දේශකර ඇත.

තම ආයතනවල නිලධාරීන් චක්‍රිය ක්‍රමයකට කැඳවීමේදී ඔවුන්ට පැමිණීමට අදාළව ගෙවනු ලබන ඉන්ධන දීමනා ආදිය පැමිණෙන දිනට පමණක් සීමා වන සේ ගෙවීමට ඇති හැකියාව සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කරන ලෙස අමාත්‍යංශ ලේකම්වරුන්ගෙන් ඉල්ලීමක් කර ඇත .

වියදම් සීමා කිරීමෙන් ඉතිරි කරගත හැකි අරමුදල් ප්‍රමාණය පිළිබඳ සවිස්තර වාර්තාවක් ලබා දෙන්නැයි මුදල් අමාත්‍යංශය ලේකම්වරුන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

තවද දැඩි මූල්‍ය විනයක් පවත්වා ගන්නැයි ද එහිදී උපදෙස් දුන් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ  සඳහන් කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න