ජනපතිගේ තීරණයට එජාපයේ විරෝධය !

ජනපතිගේ තීරණයට එජාපයේ විරෝධය !

අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මකවන ආර්ථික සභාව අහෝසි කිරීමට ජනාධිපතිවරයා ඉදිරිපත්කර ඇති කැබිනට් පත්‍රීකාවට එරෙහි වීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

ජනාධිපතිවරයා විදේශගතව සිටින බැවින් මේ සතියේ කැබිනට් මණ්ඩලය රැස් නොවූ අතර, එළඹෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී මේ සම්බන්ධයෙන් සිය විරෝධතාවය පලකිරීමට එජාප ඇමතිවරුන් පිරිසක් සුදානමින් සිටින බව ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

මෛත්‍රීපාල සිරිසේන මහතා 2020 ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමේ අරමුනින් යුතුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හා එජාපය ඉලක්කකර ගනිමින් සිදුකරන දේශපාලන කෙනෙහිලි වලට තවදුරටත් ඉඩදිය යුතු නැති බව එම පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ ස්ථාවරය වී ඇතැයි ද පැවසේ.

අපොස උසස් පෙල සියලුම සිසුන්ට අන්තර් ජාල පහසුකම් සහිත ටැබ් එකක් නොමිලේ ලබා දීමට අගමැතිවරයා හා අධ්‍යාපන ඇමතිවරයා ඉදිරිපත්කල කැබිනට් පත්‍රීකාවට ජනාධිපතිවරයා එරෙහිවූ විටදීත්, අඩුම තරමින් තමන්ට කැමැති ඇමැතිවරයාට නීතිය හා සාමය බාර දෙනවාට පවා ජනාධිපතිවරයා විරුද්ධ වන විටත් එජාප නායකත්ව නිහඬව සිටීම එම පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ විරෝධයට හේතුවී ඇතැයි වාර්තාවේ.

ජනපතිට ඒකාබද්ධයේ සහය :

මේ අතර ඒකාබද්ධ විපක්ෂය පවසන්නේ, ජනාධිපතිවරයාට ආර්ථිකය වනසන ක්‍රියාවලිය නතර කිරීමට නොහැකි තත්ත්වයක් පවතින බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා මේ බව කියා සිටියේ කොළඹ ඊයේ (13) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

බන්දුල ගුණවර්ධන මහතා එහිදී මෙසේද සඳහන් කළේය.

''ඇමතිවරයා ගන්න තීන්දුව ලේකම්වරයා දන්නේ නෑ.ලේකම්වරයා කොච්චර දවසක් ඉන්නවද කියලා ලේකම්වරයාට අදහසක් නෑ. රාජ්‍ය යන්ත්‍රණය මුළුමනින්ම අකර්මන්‍ය වෙලා තිබෙනවා. මේ ආණ්ඩුවට තවදුරටත් ගමන් කරන්න බැහැ.

මේ කිසි දෙයක් සිද්ධ නොවුණේ පසුගිය වර්ෂ 3නේ අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ කමිටුවක් මේ තීරණ ගන්න නිසයි.

ඒ නිසා ජනාධිපතිතුමා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා තිබෙන බව ආරංචියි, ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසි කරන්න.

ඒ කැබිනට් පත්‍රිකාව කල් දාලා අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් ගිය සතියේත් මේ ආර්ථික කළමනාකරණ කමිටුව රැස්වුණ බව තමයි අපිට වාර්තා වෙලා තිබෙන්නේ.

ඒ අනුව ආර්ථිකය සම්පුර්ණයෙන් වනසන ක්‍රියාවලිය ජනාධිපතිතුමාටත් නතර කර ගන්න බැරි තත්ත්වයට පත් වෙලා තිබෙන බව තමයි පැහැදිලි වෙන්නේ.''

වීඩියෝ

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න