ජංගම දුරකථන, පරිගණකය, අන්තර් ජාලය, සමාජ මාධ්‍ය නිර්මාණය වූයේ මානව සමාජයේ යහපත සදහා බවත්, එයින් ලෝකයක දැනුම තමන්ට අත්කර ගත හැකි වුව ද අවාසනාවකට ශී‍්‍ර ලංකාවේ ඇතැම් දෙනා මෙම සම්පත් භාවිතා කරන්නේ රට විනාශ කිරීමට බව ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.
එසේ අවධාරණය කරමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ මෙම සම්පත් නිසි ලෙස භාවිතා කිරීම පිළිබද නව වැඩපිළිවෙළක් ඉදිරි සති කිහිපය තුළ රටට හදුන්වාදීමට අපේක්ෂා කරන බවය.
ජනාධිපතිවරයා මෙසේ අදහස් දක්වා ඇත්තේ 13 පස්වරුවේ ටෝකියෝ නුවර ඉම්පීරියල් හෝටලයේදී පැවැත්වුණු ජපානයේ වෙසෙන ශී‍්‍ර ලාංකිකයින් අතර හමුවක් අමතමින්ය.
ජාතික සමගිය නැති කිරීම, ජාතික ආරක්ෂාවට හානි කිරීම, පුද්ගලයන්ට කරන බරපතළ නින්දා කිරීම් වැනි දේ ඉවත් කර යහපත් සහ නිවැරදි දේ පමණක් හුවමාරු කෙරෙන මාධ්‍ය වැඩි වැඩියෙන් අවශ්‍ය බව ද ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත.
මහනුවර සහ අම්පාරේ ඇති වූ සිදුවීම්වලින් පසුව ෆේස්බුක් සමාජ ජාලය තාවකාලිකව තහනම් කිරීම ඉදිරි දින කිහිපයේදී ඉවත් කරන බවත්, සමාජ යහපත වෙනුවෙන් වන ප‍්‍රවාහයකට ඉඩ දුන්න ද සමාජය විනාශ කරන යම් දෙයක් වේ නම් එය පාලනය කිරීමට යම් ක‍්‍රමවේදයක් අවශ්‍ය බවත් ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර ඇති බවද වාර්තා වෙයි.
එනපොට හොඳ නෑ - වෙබ් මාධ්‍යවේදීන්
මේ පිළිබඳ වෙබ් මාධ්‍යවේදීන් වෙතින් අප කළ අදහස් විමසීමේදී ඔවුන් සඳහන් කර සිටියේ ජනාධිපතිවරයා සඳහන් කරන "සම්පත් නිසි ලෙස භාවිතා කිරීම පිළිබද නව වැඩපිළිවෙළ" කුමක්ද යන්න එය ඉදිරිපත් වන තුරු තමන් ඉවසිල්ලෙන් බලාසිටින බවය.
කෙසේ වුවත් ආණ්ඩුවේ ඇතැම් අමාත්‍යවරුන් සමාජ ජාල ඇතුළු වෙබ් අඩවි සම්බන්ධව මේ වන විට සෘනාත්මක ආකල්ප සමාජගත කිරීමේ උත්සාහයක් පවතින බවත් එය මාධ්‍ය නිදහස ඇතුළුව භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතිවාසිකම් බරපතල ලෙස නොතකා හැරීමක් සිදුකරන බවක් පෙන්නුම් කරන බවත්ය.
එසේම වත්මන් ජනාධිපතිවරයා 2015 මැතිවරණය ජයග්‍රහණය කළ ආකාරය සිහිපත් කරන ඔවුන් සඳහන් කර සිටින්නේ මෛත්‍රීපාල සිරිසේන ලෙස ඉදිරිපත්වූ විපක්ෂයේ පොදු අපේක්ෂකයාට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඉඩ අහුරා පැවති අවස්ථාවේ ඔහු වෙනුවෙන් ජනමතය සකස්කරලීමට සමාජ ජාල වෙබ් අඩවි ලබාදුන් සහයේ වෙනස අමතක කිරීම යහපත් ප්‍රවනතාවක් නොවන බවය.
එසේම වෙබ් හෝ සමාජ ජාල පාලක අවශ්‍යතා මත වාරණයකට ලක්කිරීමට තමන් විරුද්ධ බවත් ඒ වෙනුවට ආචාර ධර්ම මාලාවක් සහ නියමිත ලියාපදිංචියක් සහිතව ක්‍රියා කිරීමට තමන් සුදානම් බවද ඔවුන් සඳහන් කරයි.
දැනටමත් ආණ්ඩුව අපකීර්තියට පත්වෙලා
එසේම වත්මන් පාලනය මේ හේතුවෙන් දැනටමත් දැඩි අපකීර්තියක් අත්කරගෙන සිටි බවත් රාජපක්ෂ රෙජීමය සුදුවෑන්, මැරකල්ලි සහ තුවක්කුවෙන් සිදුකළ භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතිය සීමා කිරීමට තාක්ෂනය යෙදුවද ඒ දෙකම වාරණය නම් පොදු කුලකය නියෝජනය කරන බවද ඔවුන් පෙන්වා දෙයි.
කිව්ව දේවල් නොකර මොනවා කළත් වැඩක් නෑ
තවද 2015 යහපාලන පොරොන්දු ඉටුකිරීම පසෙක තබා ආණ්ඩුව මේ වන විට අනෙක් සියළු වැඩ සිදුකරමින් දේශපාලනය තුළ බරපතල වරදක් සිදුකරන බවත් ජනතා විශ්වාසය පළුදු වී ඇත්තේ ආණ්ඩුවේම බොරු වැඩ වලින් මිස වෙබ් අඩවි හෝ සමාජ ජාල වල වරදක් නොවන නිසා බවද ඔවුන් අවධාරණය කර සිටියි.
සබැඳි පුවත් :
ෆේස් බුක් තහනමේ ඉලක්කය 'ලංකා ඊ නිව්ස්' !

