Language Switcher

V2025

ලෝ ප්‍රකට ඇසෝෂියේටඩ් ප්‍රෙස් (AP) මුල් පුටුවට ඩේසි වීරසිංහම් !

ලෝ ප්‍රකට අන්තර්ජාතික පුවත් සේවාවක් වන ඇසෝෂියේටඩ් ප්‍රෙස් (AP) විසින් එහි ප්‍රධාන විධායක නිලධාරී තනතුර සඳහා ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කාන්තාවක් සහ ආයතනයේ ජ්‍යේෂ්ඨයෙකු වන ඩේසි වීරසිංහම් පත් කර ඇත. මෙම පත්වීම, 2022 ජනවාරි 01 දා පටන් ක්‍රියාත්මක වේ.

ඩේසි වීරසිංහම්, මේ වන විට AP හි විධායක උප සභාපතිනිය සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරිනිය ලෙස කටයුතු කරයි.

ඇසෝෂියේටඩ් පුවත් සේවයේ වසර 175 ක කීර්තිමත් ඉතිහාසය තුළ එහි ඉහළම තනතුර සඳහා කාන්තාවක පත් වන පළමු අවස්ථාව මෙයයි. තවද එම තනතුරට පත් වන පළමු සුදු ජාතික නොවන කාන්තාව මෙන්ම පළමු අන්තර්ජාතික පුරවැසියා වන්නේ ද ඇයයි.

51 හැවිරිදි ඩේසි වීරසිංහම්, බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වුවද, ඇගේ සම්භවය ශ්‍රී ලංකාවේ ය. ඇගේ දෙමාපියන් ශ්‍රී ලංකාවෙන් 1970 දශකයට පෙර බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වූ දමිල ජාතිකයන් වේ.

පුරා වසර 17 ක් ඩේසි වීරසිංහම් ඇසෝෂියේටඩ් ප්‍රෙස් පුවත් ආයතනය සමග කටයුතු කර ඇති අතර, පුවත් සේවය ඩිජිටල්කරණයට ලක් කරමින් සජීවී වීඩියෝ විකාශ යනාදිය සමග එය නව තාක්ෂණය වෙත කැඳවාගෙන යන්නට සමත් වූවාය. එමගින් පුවත් සේවයේ ග්‍රාහකයන්ගේ විවිධාංගීකරණය ඉහළ ගියේය. ප්‍රධාන ආදායම් නිලධාරිනිය වශයෙන් ද ඇය විශාල වැඩ කොටසක් සිදුකර තිබේ. මාධ්‍ය වේදයේ නව ව්‍යාපාර ආකෘති හඳුන්වා දීම ද ඇගේ විෂයන් අතර වේ. 2004 වසෙර්දී ඩේසි වීරසිංහම් ඇසෝෂියේටඩ් පුවත් සේවය සමග එක් වන්නේ අලෙවි අධ්‍යක්ෂවරිය ලෙස ය. AP Global Media Services සහ වීඩියෝ අන්තර්ගතයන් සම්බන්ධයෙන් යුරෝපය, මැද පෙරදිග, අප්‍රිකාව, ආසියාව සහ ඔස්ට්‍රේලියාව යන කලාපවල ට සපයන අන්තර්ගනයන්ගේ වරලත් බව ලබාදීම (licensing) ඇයට පැවරී තිබිණි. එහිදී ඇය ඉහළ සාර්ථකත්වයක් පෙන්වා තිබේ. නීති උපාධියක් සහිත ඩේසි, මීට පෙර ෆයිනෑන්ෂියල් ටයිම්ස් වැනි මාධ්‍ය ආයතනවල ද සේවය කර ඇත.

අසෝෂියේටඩ් ප්‍රෙස් මාධ්‍යවේදීන්, මාධ්‍යකරණය සඳහා පිදෙන ඉහළම අන්තර්ජාතික සම්මානය සේ සැලකෙන පුලිට්සර් සම්මාන 6 ක් දිනා ඇති අතර, ලෝකයේ මහජන සේවා මාධ්‍යකරණය සඳහා පිදෙන පළමු රන් පදක්කම දිනා ගත්තේ ද ඔවුන් විසිනි.

‘‘මේ තනතුරට ඩේසි තරම් සුදුසු වෙන අයෙකු නැති බව මගේ හැඟීමයි. ඇගේ අත්දැකීම්, විනිශ්චයන් සහ අගනාකම් විසින් ඇසෝෂියේටඩ් ප්‍රෙස් වෙතට අනර්ඝ නායකත්වයක් සපයනු ඇති.‘‘ එසේ ඇයට සුබ පතන්නේ මාධ්‍ය ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල සභාපති ස්ටීවන් ආර්. ස්වාට්ස් විසිනි.

‘‘ඩේසි වීරසිංහම්, තමන් නායිකාවක බව සනාථ කළ අයෙක්. අනාගතය පිළිබඳ පැහැදිලි දැක්මක් ඇය සතුයි..‘‘ යනුවෙන් AP පුවත් සේවය, සිය මාධ්‍ය ආයතනයේ සුක්කානම භාර ගැනීමට නියමිත ඉතිහාසයේ පළමු කාන්තාව පිළිබඳ කියා තිබේ.

ලොවෙන් අඩක් AP ග්‍රාහකයන් ය.

ලෝකයෙන් භාගයක් පමණ ඇසෝෂියේටඩ් ප්‍රෙස් ග්‍රාහකයන් බවට දිනපතා පත් වන බව මේ අතර වාර්තා වේ. මේ අනුව ඇය ප්‍රධාන තනතුරට පත් වන්නේ ලෝකයෙන් භාගයක්ම ඇසුරු කරන මාධ්‍යයක ය. වසර 15කට පසු ප්‍රථම වතාවට, ඇසෝෂියේටඩ් ප්‍රෙස්හි ආදායමෙන් 40%ක් ලැබෙන්නේ ඇමරිකාවෙන් පිටත ලබාදෙන පුවත් සේවාවන්ගෙනි.

ඇසෝෂියේටඩ් ප්‍රෙස් පුවත් සේවය ප්‍රවෘත්ති 2,000 ක්, ඡායාරූප 3,000 ක් සහ වීඩියෝ 200 ක් ලබාදෙයි. අපක්ෂපාතී බව සහ කරුණු මත පදනම් වූ ප්‍රවෘත්ති මූලාශ්‍රයක් ලෙස කටයුතු කිරීම ඔවුන්ගේ වසර 175 ක සාර්ථකත්වයේ රහසයි.

අමාලි ජයවීර - www.outboundtoday.com