ගුරු අරගලයට රාජ්‍ය සේවයම එක්වන ලකුණු !

ගුරු අරගලයට රාජ්‍ය සේවයම එක්වන ලකුණු !

අති සාර්ථක වැඩ වර්ජනයක් දියත් කර ඇති ගුරු නායකයන් ඉලක්ක කොටගෙන මරණ තර්ජන කරමින් ,ආණ්ඩු හිතවාදීන් ලවා ගුරු-විදුහල්පතිවරුන්ට ‘‘කාළකණ්නියෝ’’ ‘‘ගුරු පොකුර’’ ආදී ලෙස නින්දා කරමින් කරන මේ ක්‍රියා නොඉවසන බවත්, ගුරු-විදුහල්පති ගැටළු විසඳන්නේ නැති නම්, සමස්ත රාජ්‍ය සේවයම අරගලයට ඒකරාශී වීම තුළ සිදුවන, සියළුම හානිකර තත්වයන්ට ඔබ පාලනය වගකිව යුතුයැයි සඳහන්, කරමින් ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී.ලාල්කාන්ත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමුකරමින් සඳහන් කර ඇත.

අදාළ ලිපිය ඊයේ (02) ජනාධිපති වෙත යොමුකර ඇති අතර එය පහත දැක්වෙයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, ජනාධිපති ලේකම් කාර්යාලය, කොළඹ- 01

ගුරු - විදුහල්පති ගැටළු සඳහා විසඳුම් ලබා නොදීම සම්බන්ධවයි.

මේ වන විට රටපුරා ගුරුවරුන්, විදුහල්පතිවරුන් අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ග වෙත එළඹ ඇති බව සැවොම දන්නා කරුණකි. දීර්ඝ කාලයක් තිස්සේ නොවිසඳුන වැටුප් විෂමතා ගැටළුව ඇතුළු ඉල්ලීම් මුල් කරගනිමින් ගෙන ඇති මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය නිසා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඇතුළුව ක්‍ෂේත්‍රයට සිදුව ඇති බලපෑම අති විශාලය.

තත්වය මෙසේ තිබියදී ආණ්ඩුව ගැටළු සඳහා විසඳුම් ලබා දීම වෙනුවට කල්මැරීමේ හා සටන දියකර හැරීමේ අරමුණින් කටයුතු කරනු දක්නට ලැබේ. එය එසේ සිදුවන්නේ අග්‍රාමාත්‍යවරයා, කැබිනට් මණ්ඩලය ද ඇතුළු සියළු පාර්ශව එම ඉල්ලීම්වල ඇති සාධාරණත්වය පිළිගන්නා අතරමය. එය ඔබ පාලනයේ දෙබිඩි පිළිවෙත හෙළිදරව් කිරීමකි.

ගුරු - විදුහල්පතිවරුන් මෙම සටන ආරම්භ කළේ මීට බොහෝ කලකට පෙරය. ඔබ ආණ්ඩුව යටතේ ද ඔවුන් ක්‍රියාමාර්ග වෙත එළැඹියේ #කොරෝනා වසංගතය ආරම්භ වීමටත් පෙරදීමය. එසේ තිබිය දී ඇමැතිවරුන් ඇතුළු ආණ්ඩුවේ නියෝජිතයන්ද, මාධ්‍ය බලයද, ආණ්ඩුවේ හෙන්චයියන්ද යොදා ගනිමින් ගුරු-විදුහල්පතිවරුන් ‘‘කාළකණ්නියෝ’’ ‘‘ගුරු පොකුර’’ ආදී ලෙසින් ඔවුන්ට නින්දා කිරීම පිළිකුල් සහගතව හෙලා දකිමු.

එසේම වෘත්තීය සමිති නායකයින් හට මැරයින් යොදවා මරණ තර්ජන කරමින් විවිධ ආකාරයෙන් මර්දනය දියත් කිරීම ද අප නොඉවසමු.

මෙම තත්වය තුළ මෙම අරගලය ඉදිරියට ඇදී යාමට ඉඩ හැරීම තුළ සිදුවිය හැකි හානිය බරපතලය. එබැවින් අරගලයට ප්‍රවිශ්ට වී ඇති පාර්ශවයන් වෙත පිළිගතහැකි විසඳුමක් ලබා දීමට ආණ්ඩුව වහා කටයුතු කළ යුතුය. නොසේනම් ගුරු - විදුහල්පතිවරුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙනුත්, සමස්ත සිසු පරපුරේ අධ්‍යාපන අයිතිය වෙනුවෙනුත්, දෙමාපියන් ලෙස තම දරුවන් වෙත අධ්‍යාපන ලබා දීමේ ඇති අභිලාශය වෙනුවෙනුත් අප රාජ්‍ය සේවයේ අනෙකුත් සේවාවන් ද මෙම සාධාරණ අරගලය හා පෙළ ගස්වන්නෙමු.

සමස්ත රාජ්‍ය සේවයම නියෝජනය කරන වෘත්තීය සමිති මධ්‍යස්ථානය ලෙසින් එම අයිතිය හා වගකීම අප සතුව ඇත.

එමනිසා මතුව ඇති තත්වය තවදුරටත් වර්ධනය වීමට ඉඩ නොතබමින් වහා ගුරු - විදුහල්පති ගැටළු විසඳන ලෙසට යළිත් සිහිපත් කරන අතර එසේ නොවන්නේ නම් සමස්ත රාජ්‍ය සේවයම අරගලයට ඒකරාශී වීම තුළ සිදුවන සියළුම හානිකර තත්වයන්ට ඔබ පාලනය වගකිව යුතු බවද අවධාරණය කරමු.

ස්තුතියි.

මෙයට, කේ. ඩී. ලාල්කාන්ත

සභාපති ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න