සජිත්ට කෝප් බාල්දියක් !

සජිත්ට කෝප් බාල්දියක් !

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සඳහා බඳවා ගනු ලැබූ පුහුණු නිලධාරීන් 3700 කට පසුගිය 2017-2019 අතර කාලයේදී රුපියල් කෝටි පනස් අටකට වඩා වැඩි මුදලක් වැටුප් වශයෙන් ගෙවා ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප්) තොරතුරු අනාවරණය වී ඇත.

මේ අතර ජන සෙවණ නිවාස දස ලක්ෂයේ ව්‍යාපෘතිය පිළිබඳව තත්ව වාර්තාවක් මාසයක් ඇතුළත ඉදිරිපත් කරන ලෙස ජාතික නිවාස සංවර්ධන අධිකාරියට මෙයට පෙර නිර්දේශ කර තිබුණද එය මෙතෙක් ලබා නොදීම සම්බන්ධයෙන්ද කාරක සභාවේ විශේෂ අවධානය යොමු විය .

නිවාස ව්‍යාපෘති 135ක පොදු දේපළ පළාත් පාලන ආයතනවලට මෙතෙක් පවරා නොතිබීම ප්‍රබල ගැටළුවක් බව කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත්  මෙහිදී පැවසුවේය.

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති මහාචාර්ය චරිත හේරත්ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගියදා රැස්විය .

මේ අතර කොළඹ ඩාර්ලි පාරේ අක්කරයකට වැඩි ඉඩමක නිවාස ඉදිකර සංවර්ධනය කිරීමට පෞද්ගලික පාර්ශ්වයක් සමඟ ගිවිසුම් ගත වුවද 2016 වර්ෂයේදී කිසිදු සංවර්ධන කටයුත්තක් සිදු නොකර එම ඉඩම අදාළ පෞද්ගලික ආයතනයට ගිවිසුම්ගත මිලවූ රුපියල් කෝටි අසූ එකකට වැඩි මුදලකට විකුණා ඇති බවද කෝප් කමිටු රැස්වීමේ දී හෙළි වී ඇත

මෙම ඉඩමේ භුක්තිය නැවත පවරා ගැනීම වෙනුවෙන් නෛතික ක්‍රියාමාර්ග අනුගමනය කරන බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ප්‍රධානීහු මෙහිදී කෝප් කමිටුවට දැනුම් දුන්හ.

ජාතික නිවාස සංවර්ධන පුරප්පාඩු 688 ක් පවතින හෙයින් ඒවා කඩිනමින් පිරවීමට කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව සමඟ එක්ව කටයුතු කරන ලෙස කෝප් කමිටු සභාපතිවරයා එම අධිකාරියට දැනුම් දුන්නේය.

ආයතනයේ ඉහළ කළමනාකරණ මට්ටමේ තනතුරු පුරප්පාඩු 154 ක් පවතිද්දී අතිරික්ත තනතුරු 46 පැවැතීම සම්බන්ධයෙන්ද සභාපතිවරයා මෙහිදී නිලධාරින්ගෙන් ප්‍රශ්න කළේය.

තෘතීය මට්ටමේ තනතුරු පුරප්පාඩු 116 ක් පවතින අවස්ථාවක අතිරික්ත තනතුරු 218 ක් පවතින්නේ කෙසේද යන්න පිළිබඳවද සභාපතිවරයා විමසුවේය

මෙය ආයතනයක් තුළ නොපැවතිය යුතු තත්වයක් බැවින් මේ පිළිබඳව කඩිනමින් සොයා බලා මාසයක් ඇතුළත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මාහාචාර්ය චරිත හේරත්  ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කීර්ති රංජිත් අබේසිරිවර්ධනට උපදෙස් දුන්නේය . මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී දොලවත්ත  මෙම නිලධාරීන් පිළිබදව ප්‍රශ්න කළ අවස්ථාවේදී අදහස් දැක්වූ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර  පෙන්වා දුන්නේ එලෙස බදවාගෙන තිබූ පුහුණු නිලධාරීන්ට නිසි රාජකාරියක් හෝ පවරා නොතිබූ බවයි.

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය වාර්ෂික වාර්තා නිසි පරිදි පාර්ලිමේන්තුවේ සභාගත නොකිරීම සම්බන්ධයෙන්ද කාරක සභාවේ විශේෂ අවධානය යොමු විය .

එමෙන්ම ආයතනයෙහි ක්‍රියාකාරි සැලැස්මට අන්තර්ගත විය යුතු වාර්ෂික ප්‍රසම්පාදන සැලැස්ම, මානව සම්පත් සංවර්ධන සැලැස්ම හා අභ්‍යන්තර විගණන සැලැස්ම එහි අන්තර්ගත නොකිරීම සම්බන්ධවද කාරක සභාවේ සාකච්ඡාවට ලක්විය.

තවද මෙම ආයතනයේ ණය අයවීමේ ප්‍රගතිය අවම තත්ත්වයක පැවැතීම සම්බන්ධයෙන්ද අවධානය යොමුවූ බව කෝප් කමිටුව පවසයි .

වසරක ණය අයවීමේ ප්‍රතිශතය සියයට 60 ක මට්ටමේ පවතින හෙයින් ණය අයකර ගැනීම වෙනුවෙන් ක්‍රමවත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස කාරක සභාව ජාතික නිවාස සංවර්ධන අධිකාරියට දැන්වීය.

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ පරිපාලන ගැටලු රැසක් පවතින හෙයින් එම ගැටලු විසඳා ගැනීම වෙනුවෙන් නිසි නියාමනයක් සිදු කරන ලෙසද කාරක සභාව, ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දුන්නේය.

2020 වසරේ මූල්‍ය ප්‍රකාශනවලට අනුව අධිකාරිය සතු සෙවණ මාධ්‍ය ඒකකයට ලැබිය යුතු මුදල රුපියල් මිලියන 68 ක් බව කාරක සභාවේදී අනාවරණය වූ අතර, ඒ වෙනුවෙන් කටයුතු කරන ලෙසද කාරක සභාවේ සභාපතිවරයා මෙහිදී පැවැසීය .

මේ සාකච්ඡාව කැඳවා තිබුණේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වර්තමාන කාර්‍ය සාධනය පරීක්ෂා කර බැලීම සඳහාය.

මෙම කාරක සභා රැස්වීමට අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍යවරුන්වන සුසිල් ප්‍රේම්ජයන්ත් සහ ඩී.වී චානක යන මහත්වරුද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන ඉරාන් වික්‍රමරත්න, හර්ෂ ද සිල්වා, , ජගත් පුෂ්පකුමාර, , ප්‍රේමනාත් සී.දොලවත්ත, එස්. රාසමාණික්කම්, යන =අය සභභාගී වූහ.

lankadeepa

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න