රට පුරා ඇතිව තිබෙන යම් කලබලකාරී වාතාවරණයන් පාලනය කිරීම පිණිස රජය වීසින් සමාජ ජාල වෙබ් අඩවී තාවකාලිකව අවහිර කිරීමට ගත් තීරණයත්, අන්තර්ජාලයේ වේගය අඩාළ කිරීමට ගත් තීරණයත් මාධ්‍ය සංවීධාන එකතුව වන ‘මාධ්‍ය නිදහස සඳහා ක‍්‍රියාකාරී කමිටුව’ හා ‘නිදහස් මාධ්‍ය සංසදය’ වීසින් ඒකාබද්ධව හෙළා දකිනු ලබන බවට නිවේදනයක් නිකුත් කර ඇත.
අදාළ මාධ්‍ය සංගම් එම නිවේදනය හරහා පෙන්වාදෙන ආකාරයට රට තුළ ඇති වූ කලබලකාරී වාතාවරණය මැඩ පැවැත්වීම වෙනුවෙන් සමාජ ජාල වෙබ් අඩවි තාවකාලිකව අවහිර කිරීමට රජය ගත් තීරණය නූතන යුගයේ ‘කැකිල්ලේ රජුගේ නඩු තීන්දුවකට සමානය.
මන්ද ජාති හා ආගම්වාදය වපුරන කිහිප දෙනකු නිසා ජාතිවාදය හෝ ආගම්වාදය කිසිසේත් අනුමත නොකරන බහුතර සමාජ ජාල වෙබ් අඩවි පරිහරණය කරන්නන්ගේ තොරතුරු දැනගැනීමේ, අදහස් හුවමාරු කර ගැනීමේ, අදහස් හා මතවාද ප‍්‍රකාශ කිරීමේ අයිතිය අවහිර කිඟම ඔවුන් සියළු දෙනාට කරන ලද බරපතළ වරදක් වන නිසාය.
එමෙන්ම මෙය ඉතා දරුණු හා වැරදි පූර්වාදර්ශයක් බවත්, මාධ්‍ය නිදහසට බරපතළ තර්ජන තිබූ ‘මහින්ද රාජපක්ෂ’ යුගයේදීවත් මෙවැනි ජන විරෝධී මර්දනකාරී ක‍්‍රියාවක් සිදු නොවූ අතර මෙම වැරදි පූර්වාදර්ශය ඇතැම් විට ඉදිරියේදී මීට වඩා බරපතළ ලෙස අප රටේ තොරතුරු දැනගැනීමට හා අදහස් ප‍්‍රකාශ කිරීමට බලපෑ හැකි බව තම මතය වන බවද එම නිවේදනයේ දැක්වේ.
එසේම සමාජ ජාල තුළ ජාතිවාද, හා ආගම්වාදයන් වපුරවන ප‍්‍රචණ්ඩ, කලහකාරී ක‍්‍රියා සඳහා අනුබල දෙන පුද්ගලයින් හා කණ්ඩායම් සොයා ඔවුනට දැඩි දඩුවම් ලබා දීමට නීතිමය පසුබිම හා තාක්ෂණික පහසුකම් රජය සතුව තිබියදීත් එවැනි අන්තවාදීන් කිහිප දෙනකු නිසා සමස්ත සමාජ ජාලා භාවිතා කරන්නන් අපහසුතාවයට පත් කිරීම බරපතළ කරුණක් බවද එහි සඳහන්ව ඇත.
එසේම එය රජයේ බුද්ධි අංශවල අසාර්ථකතාවයද පිළිබිඹු කරන්නක් බව සඳහන් කරන එම නිවේදනය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ප‍්‍රචණ්ඩත්වය, ආගම්වාදය වපුරන කණ්ඩායම් වලට සාපේක්ෂව එයට එරෙහිව හඬනගන්නන්ද රැසක් සිටින බැවින් එකී හඬද මෙම ක‍්‍රියාවෙන් යටපත් වන බවය.
එසේම මේ ක්‍රියාවෙන් රජය නීතිය හා සාමය රැකීමට ඇති අසමත් බව පෙනීයන බවත් මෙම ක‍්‍රියාවන්ගේ දිගුවක් ලෙස ඉදිරියේදී පුවත් වෙබ් අඩවි, පුවත්පත් හා විද්‍යුත් මාධ්‍ය වාරණයක් වුවද ගෙන ඒමට පසුබට නොවන බව පැහැදිලිව පෙනී යන බවද එම නිවේදනයේ සඳහන්ව තිබේ.
වත්මන් රජය බලයට පැමිණියේ ‘රාජපක්ෂ යුගයේ’ මාධ්‍ය මර්දනයට එරෙහිව මාධ්‍ය සංවිධාන වන අප හා මාධ්‍යවේදීන් නැගූ හඬ ද උපයෝගී කරගෙන බව සිහිපත් කරන එම නිවේදනය නමුත් අද වන විට යහපාලන රජය ‘මහින්ද යුගයේ’ ද නොතිබූ අයුරින් මර්දනකාරී ස්වරූපයක් පෙන්නුම් කරන බවද සඳහන් කරයි.

