ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මාධ්‍ය ක්ෂේත්‍රයේ සහයෝගීතාව, වෘත්තීය සබඳතා හා දැනුම් හුවමාරුව තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා–ඉන්දියානු මාධ්‍ය මිත්‍රත්ව සංගමය (Sri Lanka–India Media Friendship Association - SLIMFA) සංවිධානය කරන “SLIMFA මාධ්‍ය සම්මන්ත්‍රණය 2026” පසුගියදා කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී පැවැත්විණි.
ශ්‍රී ලංකා–ඉන්දියානු මාධ්‍ය මිත්‍රත්ව සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම මාධ්‍ය සම්මන්ත්‍රණය මෙවර දෙවන අදියර ලෙස පැවැත්වෙන අතර, දෙරටේ මාධ්‍ය වෘත්තිකයින් අතර සහයෝගීතාව වර්ධනය කිරීම, අත්දැකීම් හුවමාරු කර ගැනීම සහ වෙනස්වන මාධ්‍ය පරිසරය පිළිබඳ නව අදහස් හා අවබෝධයන් ගොඩනැගීම මෙහි ප්‍රධාන අරමුණ විය.
මෙහි සමාරම්භක අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න එක්වූ අතර පස්වරුවේ දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ද මාධ්‍ය සම්මන්ත්‍රණය සමගින් එක්විය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මෙහි දී ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකා – ඉන්දියා මාධ්‍ය මිත්‍රත්ව සංගමය වසර දෙකක් බඳු කෙටි කාලයක් තුළ දෙරටේ මාධ්‍යවේදීන් සහ මාධ්‍ය වෘත්තිකයින් අතර දැනුම, අත්දැකීම් සහ වෘත්තීය සබඳතා ශක්තිමත් කරන වැදගත් වේදිකාවක් නිර්මාණය කර ඇති බවයි.
වර්තමානයේ ප්‍රේක්ෂකයින් පුවත් නිර්මාණයට දායක වන පාර්ශ්වයක්
"වෙනස්වන ලෝකයක අදාළත්වය රැකගැනීම" යන මෙවර මාධ්‍ය සම්මන්ත්‍රණයේ තේමාව වර්තමාන මාධ්‍ය ක්ෂේත්‍රය මුහුණ දෙන යථාර්ථය මැනවින් නිරූපණය කරන බව ද සඳහන් කළ අමාත්‍යවරයා කෘත්‍රිම බුද්ධිය, ඩිජිටල් තාක්ෂණය සහ සමාජ මාධ්‍ය හේතුවෙන් ජනතාව තොරතුරු වැලඳගැනීමේ රටාව වේගයෙන් වෙනස් වෙමින් පවතින බවත්, වර්තමානයේ ප්‍රේක්ෂකයින් පුවත් ලබාගන්නා පාර්ශ්වයක් පමණක් නොව ඒවා විමර්ශනය කරන, සත්‍යාපනය කරන සහ ඇතැම් අවස්ථාවල දී පුවත් නිර්මාණයට දායක වන පාර්ශ්වයක් බවට පත්ව ඇති බවත් පැවසී ය.
කෙසේ වෙතත්, මෙම සියලු වෙනස්කම් මධ්‍යයේ ජනතාව තවමත් මාධ්‍යයෙන් අපේක්ෂා කරනුයේ නිවැරදි, සාධාරණ, ස්වාධීන සහ වගකීම් සහගත තොරතුරු බව අවධාරණය කළ අමාත්‍යවරයා වැරදි තොරතුරු සහ නොමඟ යවන තොරතුරු ඉතා කෙටි කාලයක් තුළ ලොව පුරා පැතිර යන වත්මන් පසුබිම තුළ වෘත්තීය මාධ්‍යකරණයේ වගකීම තවදුරටත් ඉහළ ගොස් ඇති බවත්, එම නිසා මාධ්‍ය ආයතනවල ප්‍රධානතම වත්කම වන්නේ විශ්වසනීයත්වය බවත් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කර සිටියේය.
ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ගොඩනැඟීම සඳහා ස්වාධීන, වගකීම් සහගත හා වෘත්තීය මාධ්‍ය පද්ධතියක් අත්‍යවශ්‍ය බව පෙන්වා දුන් අතර රජයේ වගකීම මාධ්‍යයට උපදෙස් ලබාදීම නොව, ගුණාත්මක මාධ්‍යකරණය වර්ධනය විය හැකි පරිසරයක් නිර්මාණය කිරීම බව ද පැවසී ය.
මාධ්‍ය යනු මහජන විශ්වාසයක්
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යන දෙපාර්ශවයෙන්ම ඉගෙන ගැනීමට බොහෝ දේ ඇති බවත්, දැනුම හා අත්දැකීම් හුවමාරු කර ගැනීම තුළින් දෙරටේම මාධ්‍ය ක්ෂේත්‍රය තවදුරටත් ශක්තිමත් වන බවත් ප්‍රකාශ කළ අමාත්‍යවරයා ඉන්දියාවෙන් පැමිණි දේශකයන්ගේ අත්දැකීම් ශ්‍රී ලංකාවේ මාධ්‍ය ප්‍රජාවට ඉතා වැදගත් වන බව සඳහන් කළ හෙතෙම, තරුණ මාධ්‍යවේදීන් සහ මාධ්‍ය සිසුන් අනාගත මාධ්‍ය ක්ෂේත්‍රයේ නායකයන් වන බැවින් තාක්ෂණයට වඩා ඔවුන්ගේ අවංකභාවය, වෘත්තීයභාවය, ධෛර්යය සහ මහජන යහපත වෙනුවෙන් ඇති කැපවීම මාධ්‍යයේ අනාගතය තීරණය කරන බව ද පැවසී ය.
මාධ්‍ය යනු කර්මාන්තයක් පමණක් නොව මහජන විශ්වාසයක් බවත්, එය ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම, ජනතාව දැනුවත් කිරීම සහ රටවල් අතර අවබෝධය හා මිත්‍රත්වය ගොඩනැඟීම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරන බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් මෙහි දී ප්‍රකාශ කර සිටියේය.
“වෙනස්වන ලෝකයක අදාළත්වය රැක ගැනීම” (Staying Relevant in a Changing World) යන තේමාව යටතේ පැවැති මෙම සම්මන්ත්‍රණය සඳහා ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ මාධ්‍යවේදීන්, සංස්කාරකවරුන්, මාධ්‍ය ආයතන ප්‍රධානීන්, ඩිජිටල් මාධ්‍ය නිර්මාණකරුවන්, විද්වතුන්, මාධ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයන් මෙන්ම මාධ්‍ය අධ්‍යයනයේ නිරත සිසු සිසුවියන් රැසක් සහභාගී වූහ.
වෘත්තිකයින් අතර සහයෝගීතාව වර්ධනය කිරීම
වෙනස්වන මාධ්‍ය පරිසරය, නව තාක්ෂණික ප්‍රවණතා සහ අනාගත මාධ්‍යයේ දිශානතිය පිළිබඳව පුළුල් අදහස් හා අත්දැකීම් හුවමාරු කර ගැනීමට ද මෙහිදී අවස්ථාව සැලසිණු අතර කෘත්‍රිම බුද්ධිය (AI), ඩිජිටල් පරිවර්තනය, ප්‍රේක්ෂක හැසිරීම්වල වෙනස්කම්, මාධ්‍ය විශ්වසනීයත්වය, සත්‍ය තොරතුරු තහවුරු කිරීම සහ අනාගත මාධ්‍ය භාවිතය පිළිබඳව මෙම සම්මන්ත්‍රණයේදී පුළුල්ව සංවාදයට ගැණින.
මාධ්‍ය ක්ෂේත්‍රය තාක්ෂණික පරිවර්තනයකට ලක්වෙමින් පවතින මෙවන් අවධියක, නිවැරදිභාවය, ස්වාධීනත්වය, වගකීම සහ මහජන විශ්වාසය ආරක්ෂා කර ගනිමින් නව අභියෝගයන්ට මුහුණ දීමේ අවශ්‍යතාව පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරිණි.
ශ්‍රී ලංකා–ඉන්දියානු මාධ්‍ය මිත්‍රත්ව සංගමය 2024 වසරේදී ආරම්භ කරන ලද්දේ දෙරටේ මාධ්‍ය වෘත්තිකයින් අතර සහයෝගීතාව වර්ධනය කිරීම, අත්දැකීම් හුවමාරුව ප්‍රවර්ධනය කිරීම සහ වෘත්තීය සංවර්ධනය සඳහා අවස්ථා පුළුල් කිරීමේ අරමුණිනි.
ශ්‍රී ලංකා–ඉන්දියානු මාධ්‍ය මිත්‍රත්ව සංගමයේ ප්‍රධානතම වැඩසටහනක් ලෙස පැවැත්වෙන “SLIMFA මාධ්‍ය සම්මන්ත්‍රණය 2026” මඟින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින මාධ්‍ය සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින්, අනාගත මාධ්‍යයේ දිශානතිය, නවෝත්පාදන සහ සහයෝගීතා අවස්ථා පිළිබඳව අදහස් හුවමාරු කර ගැනීමට වැදගත් වේදිකාවක් සැලසෙනු ඇත.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් සන්තෝෂ් ජා , ශ්‍රී ලංකා–ඉන්දියානු මාධ්‍ය මිත්‍රත්ව සංගමයේ සභාපති සහ ප්‍රවීණ මාධ්‍යවේදී නිස්තාර් කැසිම් (Nisthar Cassim),යන මහත්වරුන් මෙන්ම දෙරටේ මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛ නියෝජිතයෝ රැසක් එක්ව සිටියහ.
දීප්ති විජේතුංග - සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය මාධ්‍ය ලේකම්

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
