ජනතා විවේචණයට මුහුණ දී ගත නොහැකි රජය දිගටම අන්තර් ජාලය හා සමාජ ජාලා සීමා කිරීමට උත්සහ දරන බවත්, එයින් රටට දැරිය නොහැකි ආර්ථික පාඩුවක් සිදුවෙමින් පවතින බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය පවසයි.
එහි විධායක අධ්‍යක්ෂ, කීර්ති තෙන්නකෝන් මහතා නිකුත්කළ නිවේදනයක එබව සඳහන් වේ.
අන්තර් ජාලය භාවිත වන්නේ ජාතිවාදය ඇවිස්සීමට හෝ ආණ්ඩු විවේචණය කිරීමට පමණක් නොව එය ව්‍යාපාරික හා සන්නිවේදන මෙවලමක් බැවින් සමාජ ජාලා වාරණය අවසන් කිරීමට රජය වහා කටයුතු කළ යුතුව ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය පවසයි.
සංවිධානාත්මක පරිගණක අපරාධ මර්ධනය කිරීමට ද, ආණ්ඩුව පිළිබද දේශපාලන විවේචනයට මුහුණ දිය නොහැකිව සිටින රජය අන්තර් ජාලය, සමාජ ජාලා, තොරුතුරු සන්නිවේදනයට සීමා පනවා ඇති බවත්, එහි ආර්ථික සා සාමාජීය බලපෑම අති විශාල බව රජය වටහා ගත යුතු බව ද, වහා මෙම තහනම ඉවත් කළ යුතු බව ද, ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද දැක්වේ.
විදෙස් ඥාතීන් සමග සම්බන්ධතා බිඳ වැටිලා :
ලංකාවේ ලක්ෂ 59 ක් ෆෙස් බුක් භාවිත කරති. ලක්ෂ 8 ක් ටුවිටර් භාවිත කරති. ලංකාව ජනගහනයට වැඩි දුරකතන ප්‍රමාණයක් සහිත රටකි.
ලංකාවේ ජනප්‍රියම ඇප් එක වයිබර් වන අතර, Anubhav Nayyar, the Regional Head of Viber South Asia ට අනුව ලංකාව ලෝකයේ වයිබර් ස්ටිකර් නිශ්පාදනය සිදු කරන ප්‍රමුඛ රාජ්‍යයන් 5 න් එකකි.
ලංකාවේ වයිබර්, වට්ස්අප්, මැසෙන්ජර් වැනි සමාජ ජාලා භාවිත කරන මුළු සංඛ්‍යාව මිලියන 6.8 කි.
මැද පෙරදිග, ලෝකයේ විවිධ රටවල්වල වෙසෙන තම ඥාතීන්, හිතවතුන් සමග පහසුම සන්නිවේදන මාර්ග සියල්ලම පාහේ දැන් දින 6 ක් අවහිර වී ඇත.
ලාභ සන්නිවේදන මාර්ග අවහිරවීම යනු වැඩි මිලක් ගෙවා එම පහසුකම් ලබාගැනීමට පාරිභෝගිකයින්ට සිදුවීමයි.
සමාජ ජාලා අවහිර කළ වහාම ටෙලිකොම් ඇතුළු සන්නිවේදන පහසුකම් සපයන ආයතන කළේ සෘජු විදේස් දුරකතන පහසුකම් පිළිබද දැන්වීම් පල කිරීමය.
අවම මිල සේවා ලබා ගැනීමට වෙනුවට වැඩි මිලක් ගෙවා අන්තර් ජාතික සන්නිවේදන පහසුකම් ලබා ගැනීමට මිලියන 3 ක් වන පාරිභෝගිකයින්ට සිදුව තිබේ.
විදේශගත ශ්‍රී ලාංකිකයින් තම ඥාති හිතවතුන් සමග සබදතා පවත්වාගන්නේ අන්තර් ජාලය හරහා ය. ජාත්‍යන්තර වෙළෙදපොළට සේවා සපයන ආයතන සිය ගණනක් ලංකාවේ ඇති අතර ඔවුන්ගේ ව්‍යාපාර දැවැන්ත බිද වැටීමක ලක් වී තිබේ.
දැවැන්ත පරාජයක් ලැබූ ආණ්ඩු පක්ෂය :
මෙයට මසකට පෙර පැවති පළාත් පාලන ඡන්දවිමසීමෙන් දැවැන්ත පරාජයක් ලැබූ ආණ්ඩු පක්ෂය තමන්ට එරෙහිව එල්ල වන ජනතා විරෝධය, විවේචණය මැඩලීම සදහා සමාජ ජාලා වාරණය දිගටම පවත්වා ගෙන යාමට උත්සහ දරමින් සිටී.
මහනුවර සිට සමාජ ජාලා හරහා මිනී මැරුම්, දේපල කොල්ලකෑම, දේපල විනාශ කිරීම සදහා දායක වූ පුද්ගලයින් ඒ සදහා භාවිත කළ සේවා පිළිබද දත්ත (අයි.පී. ලිපිනයන් පවා) ෆෙස් බුක් ඇතුළු සමාජ ජාලා මගින් ලංකාවේ බලධාරීන් වෙත ලබා දී තිබිය දී දින දෙකක් ඔවුන් අත්අඩංගුවට ගැනීමට නොහැකිවීම ලංකා පොලීසියේ දුර්වලතාවයකි. නීතිය හා සාමය පවත්වාගෙන යාමේ දුබලතාවයකි.
නොමිලේ වයි-ෆයි සබදතා ලබාදීම, ටැබ් ලබාදීම, තොරතුරු තාක්ෂණය පුළුල් කිරීම පිළිබද මාධ්‍ය සංදර්ශන පවත්වමින් සමාජ ජාලා මර්ධනයට කටයුතු කිරීම විහිළු සහගත ක්‍රියාවකි.
අන්තවාදීන් නිදැල්ලේ :
‘මහසොහොන් බලකාය‘ නමින් තෙල්දෙණිය නගර මධ්‍යයේ සිව් මහල් ගොඩනැගිල්ලක මුලස්ථානයක් පවත්වාගෙන ගිය අතර, මෙම ප්‍රචණ්ඩවත්වයට නායකත්වය දුන් පුද්ගලයින් තවමත් නිරපද්‍රිතව සිටී.
එමෙන්ම, මුස්ලිම් ජාතිකයින් අතර ක්‍රියාත්මක අන්තවාදී සංවිධාන සාමාජිකයින් සම්බන්ධයෙන් ද, නීතිය ක්‍රියාත්මකවීමක් දක්නට නොලැබේ.
ඇප කොන්දේසි උල්ලංඝණය කරමින් මෙම කටයුතු සදහා සහභාගි වූ පිරිස් තවමත් නිදැල්ලේ සිටී.
එවැනි පරිසරයක සමාජ ජාලා සීමා කිරීම දිගටම පවත්වාගෙනයාම ‘අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සීමා කිරීමක් බවත්, එය රටට දැවැන්ත මුල්‍ය පාඩුවක් සිදු කරන කටයුත්තක් බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය අවධාරණය කරයි.

