චීන රජයේ ආධාර මත ශ්‍රී ලංකාවට ගෙන්වනු ලැබු සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 05 ක් ඊයේ මධ්‍යම රාත්‍රියේ දී ශ්‍රී ලංකා ගුවන් සේවයේ UL 869 දරන ගුවන්යානය මගින් කටුනායක බණ්ඩාරණායක ගුවන්තොටුපලට ගෙන එන ලද බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කරයි.
එහි මෙසේද සඳහන් වෙයි.
මෙම එන්නත් තොඟය භාර ගැනීමට සෞඛ්‍ය අමාත්‍ය, පවිත්‍රා වන්නිආරච්චි සහ ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමනය රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ගුවන්තොටුපලට පැමිණ සිටියහ.
සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෙන්හුන්ග් අතර චීන ශ්‍රී ලංකා එන්නත් වැඩපිලිවෙලට අදාල ගිවිසුම හුවමාරු කර ගැනීම ද කටුනායක බණ්ඩාරණායක ගුවන්තොටුපල පරිශ්‍රයේදී සිදුවිය. මින් පෙර ද චීන රජයෙන් ශ්‍රී ලංකාවට සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 06 ක් ලබා දීමට කටයුතු කර තිබුනි.මෙරටට ගෙන එන ලද සයිනොෆාම් එන්නත් තොඟය ගුවන්තොටුපළේ සිට සෞඛ්‍ය අමාත්‍යංශයේ එන්නත් ගබඩා සංකීර්ණය වෙත ගෙන එන ඒමට කටයුතු කරන අතර, ඉදිරි දිනවල දී බස්නාහිර පළාත ඇතුලුව ආසාදිතයන් බහුලව වාර්ථා වන දිස්ත්‍රික්කවල සිදු කරන එන්නත්කරණ වැඩපිළිවෙලට යොදාගැනීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යංශය අවධාරණය කරයි.
මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන නාමල් රාජපක්ෂ, ප්‍රසන්න රණතුංග, ඩී.වී චානක, ජනාධිපති ඡ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ, ගුවන් තොටුපල සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී.ඒ චන්ද්‍රසිරි ඇතුලු පිරිසක් ද එක්ව සිටියහ.

