කොරෝනා එන්නත් නිකුතුව සම්බන්ධව විමර්ශනයක් ඉල්ලයි !

කොරෝනා එන්නත් නිකුතුව සම්බන්ධව විමර්ශනයක් ඉල්ලයි !
"පැනඩෝල් පෙත්තක් පවා ලබා දීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් එය මිළදීගත් ස්ථානයේ සිට රෝගියාට ලබා දෙන ස්ථානය දක්වා විධිමත් සංගණනයක් සිදු කෙරෙන ක්‍රමවේදයක් පැවතියදී, මේසා විශාල වටිනාකමක් ඇති එන්නත නිකුත් කරන ලද නිළධාරියා කවුරුන්ද? එන්නත්කරණය සිදු කළ නිළධාරියා කවුරුන්ද? එන්නත්කරණයට වගකියන සෞඛ්‍ය ආයතනය කුමක්ද? යන්න පිළිබඳව කිසිඳු සංගණනයක් නොමැති වීමත් එන්නත් ලබා ගත් පුද්ගලයන් කවුරුන්ද ඔවුන්ගේ තොරතුරු ලියාපදිංචි වී ඇත්තේ කිනම් ආයතනය යටතේද, එසේ එන්නත් ලබා දී ඇත්තේ නියමිත නිර්දේශය ලත් පුද්ගලයන් සඳහා පමණක්ද? වැනි කරුණු පිළිබඳව කිසිඳු සංගණනයක් නොමැත." යනුවෙන් විවේචනයක් සහිත නිවේදනයක් පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය විසින් නිකුත්කර ඇත.
 
"සෞඛ්‍ය ක්‍රමවේදයන්ට හා ප්‍රමුඛතා අනුපිළිවෙලට පරිභාහිරව අක්‍රමික ලෙස එන්නත් භාවිතය පිළිබඳව විධිමත් විමර්ශනයක් සිදු කිරීම." යන ශීර්ෂයෙන් යුතු එම නිවේදනය පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් ගේ අත්සනින් නිකුත්කර ඇති අතර සම්පූර්ණ නිවේදනය පහත දැක්වෙයි.
 
වෛද්‍ය නිළධාරීන්ගේ පවුල් වලට පමණක් එන්නත් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කිරීම පිළිබඳව 2021-05-24 දින සෞඛ්‍ය අමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන්, සෞඛ්‍ය ලේකම්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු සියළු සෞඛ්‍ය බලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වූ සාකච්ඡාවේදී හෙලිදරව් වූ කරුණු පිළිබඳව ඔබගේ දැඩි අවධානය යොමු කරමු.
 
ඒ අනූව 2021-05-24 දින බස්නාහිර පළාතේ නම් කරන ලද ස්ථාන 25 ක (ඇමුණුම 01) එන්නත් ලබා දීමේ ක්‍රියාවලියක් සිදු වුවද, ඊට අදාලව එන්නත් සැපයීම සඳහා නිශ්චිත තීන්දුවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගනු නොලැබූ බව ප්‍රකාශ විය. එසේම එම නම් කරන ලද ස්ථාන වලට අමතරව ශ්‍රී ලංකා ජාතික රෝහලෙහි 320 නිළ නිවාසය හා වෛද්‍ය පර්යේෂණ ආයතනය ඇතුළු එන්නත් ලබා දීම සඳහා නිර්දේශ නොකරන ලද ස්ථාන ගණනාවකදීම සෞඛ්‍ය සේවාවට පරිභාහිර පුද්ගලයන් සඳහා එන්නත් ලබා දීමක් සිදුවී ඇති බව අප වෙත වාර්තා වී ඇත.
 
තවද අදාල සාකච්ඡාවේදී සඳහන් වූ පරිදි එම එන්නත් ලබා දීම සිදුවී ඇත්තේ එන්නත් ලබා දීමේ ප්‍රමුඛතා ලැයිස්තුවෙහි සඳහන් නොවන එහෙත් ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව ලබා ගත් කණ්ඩායමකටය.
 
ඒ අනූව එසේ එන්නත් ලබා දෙන ලද පුද්ගලයන්ගේ ඥාතීත්වය කුමක් වුවද ඔහු හෝ ඇය එන්නතෙහි පළමු මාත්‍රාව ලබා ගෙන ඇත්තේ ක්‍රියාත්මක වූ ප්‍රතිපත්තියට පිටතින්ය.
 
කොව්ඩ් එන්නත, අප රටට පමණක් නොව සමස්ථ ලෝක වාසීන්ටම ඉල්ලුමේ ප්‍රමාණයට සපයා ගත නොහැකි සීමාන්තික පාරිභෝගික ද්‍රව්‍යයකි. මේ නිසාම එය ලබා දීමේදී මුදලට හෝ බලයට අදාල නොවන පරිදි වසංගතය පාලනය කිරීමේ අවශ්‍යතාවය පමණක් ප්‍රමුඛ කර ගනිමින් ප්‍රමුඛතා අනුපිළිවෙලක් සැකසෙන අතර ඊට මහජනතාව අනුගත වනු ලබන්නේද එහි ඇති සාධාරණ බව නිසාය. නමුත් ඊට අදාලව ශ්‍රී ලාංකීය සෞඛ්‍ය සේවාව තීරණය කරන ලද අනුපිළිවෙලට පටහැනිව යමින් බොහෝ අය බොහෝ තැන්වල එන්නත් භාවිතා කිරීම හේතුවෙන් සමස්ථ එන්නත්කරණ ක්‍රියාවලියම අවුල් සහගත එකක් බවට පරිවර්තනය වී තිබේ.
 
තත්ත්වය එසේ තිබියදී සෞඛ්‍ය අමාත්‍යාංශය විසින්ම පැනවූ එකී ප්‍රමුඛතා පිළිවෙලට පටහැනිව යමින් එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත් පිරීසක් සඳහා දෙවන මාත්‍රාව ලබා දීම සඳහා වසංගත පාලන ප්‍රතිපත්තියට අදාල නොවන ප්‍රමුඛතාවයක් ලබා දීම බරපතල වරදකි. තවද එන්නතක් නොව පැනඩෝල් පෙත්තක් පවා ලබා දීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් එය මිළදීගත් ස්ථානයේ සිට රෝගියාට ලබා දෙන ස්ථානය දක්වා විධිමත් සංගණනයක් සිදු කෙරෙන ක්‍රමවේදයක් පැවතියදී, මේසා විශාල වටිනාකමක් ඇති එන්නත නිකුත් කරන ලද නිළධාරියා කවුරුන්ද? එන්නත්කරණය සිදු කළ නිළධාරියා කවුරුන්ද? එන්නත්කරණයට වගකියන සෞඛ්‍ය ආයතනය කුමක්ද? යන්න පිළිබඳව කිසිඳු සංගණනයක් නොමැති වීමත් එන්නත් ලබා ගත් පුද්ගලයන් කවුරුන්ද ඔවුන්ගේ තොරතුරු ලියාපදිංචි වී ඇත්තේ කිනම් ආයතනය යටතේද, එසේ එන්නත් ලබා දී ඇත්තේ නියමිත නිර්දේශය ලත් පුද්ගලයන් සඳහා පමණක්ද? වැනි කරුණු පිළිබඳව කිසිඳු සංගණනයක් නොමැත.
 
එනිසාම රජයේ ඖෂඨ ගබඩා වලින් නිකුත් කරන ලද එන්නත් තොග අවම වශයෙන් කී දෙනෙකු සඳහා භාවිත කලේද යන්න පිලිබඳවත් නිශ්චිත පසු විපරමක් සිදු කල නොහැකි ආකාරයට එන්නත් අයාලේ යන තත්ත්වයකට එන්නත්කරණ ක්‍රියාවලිය පතිව ඇති බව අවබෝධ කර ගැනීම සඳහා ඉහත ක්‍රියාන්විතය ඉතා හොඳ සාක්ෂියකි.
 
මෙම තත්වය අනූව රජයේ ගබඩා වලින් නිකුත් වන එන්නත මුදලට විකිණීම, වරප්‍රසාද හා වරදාන වලට ලබා දීම, දූෂණයට නාස්තියට සහ අක්‍රමිකතාවයට ලක් වීම, නොවැලැක්වියහැකි බව පැහැදිලිය. තවද, වසංගතය හේතුවෙන් සෞඛ්‍ය සේවාවට පැවරී අති බලතල භාවිත කරමින් තමන්ගේ හැන්දෙන් තමන්ට රිසිසේ බෙදා ගැනීම සඳහා සෞඛ්‍ය සේවාව කටයුතු කර ඇති බවත් පැහැදිලිය.
 
එය සෞඛ්‍ය අමාත්‍යාංශයේ තීරණයකට අනූව සිදු නොවූයේ නම් තත්ත්වය වඩාත් බරපතලය. තමන්ගේ ප්‍රමුඛතා අනුපිළිවෙල සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තීරණය කර එන්නත ලබාදෙන තුරු රටේ ඉදිරි පෙල සේවාවන් ආවරණය කරන බොහෝ පිරිස් බලා සිටින අතරතුරදී, අප අපගේ පවුල් වලට එන්නත් ලබා දීම අන් සියල්ලට වඩා ප්‍රමුඛ කාර්යයක් ලෙස සලකනු ලැබුවේ කිනම් විද්‍යාත්මක පදනමක් තුලද යන්න රටේ මහජනතාවට පැහැදිලි විය යුතුය.
 
උක්ත තත්ත්වය සැළකිල්ලට ගෙන එන්නත්කරණ ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහාත්, ප්‍රමුඛතා අනුපිළිවෙල විද්‍යාත්මකව තීරණය කිරීම සඳහාත්, අනෙකුත් සියළු ඖෂධ සේම එන්නතද අක්‍රමිකතාවයට හසු නොවන ලෙස හා නිවැරදි සංගණනයන්ට ලක් වන පරිදි සිදු කිරීම සඳහාත්, මෙකී තත්ත්වය පිළිබඳව විධිමත් විමර්ශනයක් සිදු කරන ලෙස ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.
 
රවී කුමුදේශ් 
පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න