තාක්ෂණික දැනුමකින් යුත් විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් ඇතුළු වසංගත රෝග පිළිබඳ විශේෂඥයන් ඇතුළත් කොවිඩ් මර්දන ඒකකයක් වහාම පිහිටුවා කොවිඩ් ව්‍යාප්තිය පාලනය කරගත යුතුව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත යෝජනා ඉදිරිපත් කර ඇත.
ශ්‍රී ලංකාවේ ඇති වූ සියලු ම වසංගත රෝග පාලනය කර ඇත්තේ පෝලියෝ, ක්ෂය රෝග, ඩෙංගු වැනි වසංගත සඳහා මර්දන ඒකක පිහිටුවා, තාක්ෂණික දැනුම ඇති විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් අවශ්‍ය පියවර ගැනීමෙන් බව එම සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු පෙන්වා දෙයි.
මේ වන විට රට තුළ ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතින කොවිඩ් වසංගතය පාලනය කර ගැනීමට කොවිඩ් මර්දන ඒකකයක් වහාම පිහිටුවා විශේෂඥ වෛද්‍යවරුන්ගේ තාක්ෂණික උපදෙස් මත නිසි කළමනාකාරිත්වයක් ඇති වැඩසටහනක් ක්‍රියාත්මක නොකළහොත් සමස්ත සෞඛ්‍ය පද්ධතිය කඩා වැටීම නොවැළැක්විය හැකි බව සඳහන් කරන වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු, කොවිඩ් ආසාදිතයන් සඳහා රෝහල් සංඛ්‍යාව වැඩි කර ඇඳන් සංඛ්‍යාව ඉහළ දැමුවත් ඒ හා සමානව සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල වැඩි වීමක් නොවන බව පෙන්වා දෙයි.
කොරෝනා ආසාදනය වන නිදන්ගත රෝග වැලඳී නොමැති, අවට හොඳ පරිසරයක් ඇති, හොඳ ශරීර සෞඛ්‍යයෙන් යුත් අඩු වයස් ගත පුද්ගලයන් නිවෙස්වල රඳවා සෙසු ආසාදිතයන් රෝහල් හා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීම කෙරෙහි දැඩි අවධානයක් යොමු කළ යුතුව ඇතැයි වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු පෙන්වා දෙයි.
නිවෙස්වල රඳවා සිටින ආසාදිතයන් ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ නිරන්තර අධීක්ෂණයට යටත් කළ යුතු අතර ආසාදිතන් බහුල ප්‍රදේශවල වෛද්‍ය ඒකක පිහිටුවා එම ඒකකවල වෛද්‍ය කණ්ඩායමක් සේවයෙහි යොදවා ක්ෂණික ඇමැතුම් හරහා (on-call) අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව ද තම සංගමය විසින් යෝජනා ඉදිරිපත් කර ඇති බව හෙතෙම පවසයි.
මෙම යෝජනා සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන වෙත යොමු කර ඇති බව ද වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු පැවැසීය.

