Language Switcher

V2025

එන්නත් විදීම බරපතල අවුලක - ගම්පහ බලවතා ගම කාලා !

කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය නිසි වැඩපිළිවෙළක් නොමැතිවීම ඇතුළු අයුතු බලපෑම් හේතුවෙන් බරපතළ අර්බුදයකට ලක්ව ඇති බව සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

එහි ආසන්නතම සිදුවීම ලෙස වාර්තා වන්නේ පොදුජන පෙරමුණ ආණ්ඩුවේ ගම්පහ ප්‍රබලයකු ප්‍රමුඛතා ලැයිස්තුව මගහැර තමන් ඇතුළුව පවුලේ සහ සමීපතම අය වෙත එන්නත්කරණය බලහත්කාරයෙන් සිදුකරගෙන ඇති බවයි. එසේම කොරෝනා මර්දන එන්නත ලබා ගැනීම සඳහා ලියාපදිංචි වී නොසිටි ඉහළ පැලැන්තියේ ප්‍රභුන් 100 කට ආසන්න පිරිසක් වැලිකඩ බන්ධනාගාරය තුලට ගොස් සිරකරුවන්ට ලබා දීමට වෙන්කර තිබූ එන්නත් ලබාගෙන තිබීමත් සම්බන්ධව තොරතුරු වාර්තා වෙයි.

ඊට අනූව මැයි මස  5 සහ 6 දෙදින මෙම ප්‍රභු පිරිස වැලිකඩ බන්ධනාගාර රෝහලට පැමිණ හොර රහසේ  එන්නත ලබාගෙන ඇතැයි රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමයේ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන චෝදනා කර සිටියි. බන්ධනාගාර ආරංචිමාර්ග වලට අනුව, මෙසේ ප්‍රමුඛතා ලැයිස්තුව උල්ලංඝනය කරමින්  එන්නත් ලබාගෙන ඇත්තේ අස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත් ප්‍රභූන් පිරිසකි. මේ වන විට රට පුරා එන්නත් හිගයක් මතුව ඇති මොහොතක මෙවන් පිටස්තර පුද්ගලයන්ට එන්නත් ලබාදීම ගැන වෙනම විමර්ශනයක් ආරම්භ කළ යුතු බවත් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන අවධාරණය කර සිටියි.

තෝරාගත් පිටස්තර ප්‍රභූ පිරිසකට මෙලෙස එන්නත ලබා දුන්නේ කුමන පදනමකින් දැයි ඔහු ප්‍රශ්න කර සිටින අතර මේ ආකාරයට  බන්ධනාගාර රෝහලේ දී එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගත් පිරිසගේ නම් හෙළිකරගෙන නැතත් පරීක්ෂණයක් වෙනුවෙන් සාක්ෂි ඉදිරිපත් කිරීමට තමන්ට හැකියාවක් ඇතැයිද  සඳහන් කරයි. පසුගිය සමයේ මෙරටට ලැබුණු ඇස්ට්‍රාසෙනිකා එන්නත් ප්‍රමාණය ලක්ෂ 12ක් වූ අතර ලක්ෂ 9කට ආසන්න පිරිසක් වෙත එයින් පළමු මාත්‍රාව ලබාදීමට සෞඛ්‍ය අංශ වෙත සිදුව තිබිණ.

අදාළ එන්නත්කරණ වැඩපිළිවෙළ තුළ වූ ප්‍රමුඛතා පදනම වූයේ කොරෝනා මර්දන කටයුතු වල පළමු පෙල  නිරත සෞඛ්‍ය අංශ කාර්‍ය මණ්ඩල , ආරක්ෂක අංශ සාමාජිකයන් සහ පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් ඇතුළු පිරිසකි.

නමුත්  මේ වන විට දෙවන මාත්‍රාව නිකුත් කළ හැකිව තිබෙන්නේ මාත්‍රා ලක්ෂ 3ක් පමණ වන අතර එන්නත් මාත්‍රා ලක්ෂ 6ක පමණ හිඟයක් පවතී.

ඉන්දියාවේ තත්ත්වය බරපතළ වීම සහ ඔක්ස්ෆර්ඩ් ඇස්ත්‍රාසෙනෙකා එන්නත නිශ්පාදනය කල සීරම් සමාගමේ අර්බුදයක් මතුව තිබීම හේතුවෙන් එම එන්නතේ හිඟය පියවා ගැනීම මෙරටට දුෂ්කර වී තිබෙයි.

එසේම ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පලමු මාත්‍රාව ලබාදුන් පාර්ශව වෙත දෙවැනි මාත්‍රාව  වෙනුවට දියහැකි විකල්පයක් ද මෙතෙක් නිර්දේශ වී නැති අතර  ඇස්ත්‍රාසෙනෙකා එන්නතේ පලමු මාත්‍රාව මත ආසාදනය වීම වලක්වාලීමේ සම්භාවිතාව ඇත්තේ සියයට 65ක් වීමත් පලමු මාත්‍රාව ලැබූවන් අතරින්ද    කොරෝනා ආසාදිතයින්  වාර්තා වීමත් හමුවේ දෙවන මාත්‍රාව කඩිනමින් ලබාදීමේ දැඩි අභියෝගයක් මේ වන විට නිර්මාණය වී තිබේ .

විශේෂයෙන් ඇස්ත්‍රාසෙනෙකා පළමු මාත්‍රාව ලැබූ මාධ්‍යවේදීන් කිහිපදෙනකු මේ වන විට කොරෝනා පොසිටිව් ලෙස වාර්තා වී ඇති අතර පළමු මාත්‍රාව ලද  තවත් පාර්ශව අතරින්ද කොරෝනා පොසිටිව් වීම වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි. දෙවැනි මාත්‍රාව ලබාදීම කඩිනම් කිරීමේ පදනමින්  ඊට  මෙරට  ප්‍රසිද්ධ   පෞද්ගලික රෝහල් දෙකක  සහය ගැනීමට ආණ්ඩුව ක්‍රියා කර ඇති බව වාර්තා වන්නේ  එවැනි පසුබිමකය.

වාර්තා වන ආකාරයට    අදාළ පෞද්ගලික රෝහල් දෙකෙහි පරිපාලනය  ආණ්ඩුවේ ඉහළ පෙල සමග ඉතා සමීප සම්බන්ධතා තිබෙන අතර වඩාත් අවාසනාවන්ත සිදුවීම වන්නේ ආණ්ඩුවේ ඉහළ පෙල සසමග ඇති සම්බන්ධය මත  ප්‍රමුඛතා ලයිස්තු උල්ලංඝනය කර ඇති එම රෝහල් පරිපාලනය   තම   සමීපතම ඥාතීන් ඇතුළු  පාර්ශව ගණනාවකට  එන්නත් කරන කටයුතු  සිදුකර ඇති බව වාර්තා වීමයි.

ඒ සමග මෙරට එන්නත්කරණ වැඩපිළිවෙළ ආශ්‍රිත අර්බුදය තවදුරටත් ව්‍යාප්ත  වෙමින් අධිකරණ පද්ධතිය තුළත් අර්බුදයක් ඇති කර ඇත.

ඒ ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය හා ඊට අදාළ  කාර්ය මණ්ඩල වෙත එන්නත්කරණය සිදුකර ඇති නමුත් මහේස්ත්‍රාත් අධිකරණය ඇතුළු පහළ අධිකරණ පද්ධතිය වෙත එන්නත් කරන කටයුතු සිදුනොකිරීම හේතුවෙනි.

තවද යුද  හමුදා රෝහල ආශ්‍රිතව දියත් කර ඇති  එන්නත්කරණ කටයුතු ද  අර්බුදයට ගොස් ඇති බවත් වාර්තා වෙයි. එමෙන්ම යුද හමුදා රෝහල ආශ්‍රිත එන්නත්කරණ ක්‍රියාවලිය  දියත්වූයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මැති ඇමති වරුන්ද  ඇතුලත්වය.   නමුත් මේ වන විට ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ එක් රාජ්‍ය අමාත්‍යවරයකු සිය පවුලේ සමීපතම පාර්ශව 20ක් වෙත හමුදා රෝහල හරහා එන්නත්කරණය සිදුකරගෙන ඇති බවය. තවද යුද  හමුදාවේ ඉහළ තානාන්තරයක් හොබවන අයෙකුගේ බිරිඳක් විසින් තමන්‍ට පමණක් නොව තම යෙහෙළියන් සහ ඔවුන්ගේ සමීපතමයින් වෙත එන්නත් ලබාගෙන ඇති බවත් වාර්තා වෙයි.

අස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත් ජනතාවට එහි දෙවැනි මාත්‍රාව ලබා දීම සඳහා එම එන්නත සොයා ගැනීම දුෂ්කර වී ඇතැයි එන්නත්කරණ වැඩපිළිවෙළ පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී ජනාධිපති උපදේශක ලලිත් වීරතුංගද  පවසන්නේ එවැනි පසුබිමකය 

ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් ආයතනයට පමණක් නොව ඉන්දියාවටත්  එම එන්නත සොයාගැනීම අද දුෂ්කර වී ඇතැයි ඔහු සඳහන් කරයි.

රජයේ ප්‍රභූන් පෝලිම් කඩා තම තමන්ට හා තමන්ගේ හිත මිතුරන්ට එන්නත් විදගෙන ඇත්තේ, එන්නත් ගෙන්වීම බාර ජනාධිපති උපදේශක වරයා එවැනි  බරපතල  අර්බුදයකට මුහුණදී සිටියදී වීම මෙරට අර්බුදයේ බරපතළ බව තහවුරු කරයි. මෙසේ  ආණ්ඩුවේ  බලධාරීන් එන්නත් පෝලිමෙන් පිට එන්නත් විදාගැනීම සම්බන්ධයෙන් ලලිත් වීරතුංග ද බලවත් සේ කනස්සල්ල පළකර සිටියි.

මෙතරම් අර්බුදයක් නිර්මාණය වී ඇති පසුබිමක  ජනාධිපතිවරයා මෙකී එන්නත්කරණය ආශ්‍රිත ක්‍රියාවලිය  සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් සිටීම තම සේවක පිරිස් වල චිත්ත ධෛර්යය බිංදුව දක්වා පහළ දමමින් ඇති  බව සෞඛ්‍ය ක්ශේත්‍රයේ අදහස වී තිබේ.