ඇමති මලික්ට එරෙහිව තවත් චෝදනාවක්

ඇමති මලික්ට එරෙහිව තවත් චෝදනාවක්

සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂක ජෙනරාල්ගේ වැටුප හිතුමතේ විශාල ලෙස වැඩි කර ගැනීමට ඉඩ හැර ජනතා මුදල් අත්තනෝමතිකව විනාශ කිරීමට ඉඩසලසා ඇති බවට පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.

ලක්ෂ 3ත් මදි වෙලා

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් එහි සභාපති රංජිත් විතානගේ ඒ බව සඳහන් කරන අතර එහිදී පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයයේ වර්තමාන අධ්‍යක්ෂක ජෙනරාල්වරයාගේ රුපියල් ලක්ෂ 3 ක් පමණ වූ වැටුප මේ වන විට 150% පමණ වැඩි කරගෙන ඇති බවය.

භාණ්ඩාගාරයේ අනුමැතිය අරගෙනත් නෑ

එසේම මෙම සිදුවීම සම්බන්ධව මේ වන විට තම සංවිධානය තොරතුරු දැනගැනීමේ පනත යටතේ විමසීමක් ද කර තිබෙන බවත් මෙසේ වැටුප් වැඩිවීමක් සදහා මහා භාණ්ඩාගාරයේ අනුමැතිය ලබා ගත යුතු වූව ද දැනගන්නට ලැබී ඇති ආකාරයට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයයේ වර්තමාන අධ්‍යක්ෂක ජෙනරාල්වරයාගේ වැටුප් වැඩිකර ගැනීමේ කටයුත්ත එවැනි අනුමැතියක් ලබාගැනීමකින් තොරව සිදුව තිබෙන බවද පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය නිකුත් කළ නිවේදනයේ සඳහන්ව තිබේ.

ආයෝජන වාර්තා විකෘති කරාලා

එසේම මෑත කාලයේ ශ්‍රී ලංකාවට විශාල ආයෝජන ලැබුණු බවට තොරතුරු සකසා තම වැටුප වැඩිකරගත් අධ්‍යක්ෂක ජෙනරාල්වරයා ඒ සදහා හම්බන්තොට වරාය බදු දී ලැබුණු මුදලද එකුතු කොට තිබෙන බවද එම නිවේදනයේ දැක්වේ.

තවද දේශීය හා විදේශීය ආයෝජකයන්ගේ ආයෝජන ව්‍යාපෘති සදහා අනුමැතිය ලබා දීමට විශාල කාලයක් ගනු ලබන වර්තමාන අධ්‍යක්ෂක ජෙනරාල්වරයා නිසි ක්‍රියා පටිපාටිය අනුගමනය නොකොට තමාට හිතවත් නිළධාරීන් සදහා උස්ස්වීම්ද පිරිනමා ඇති බවද එම නිවේදනය හරහා පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය චෝදනා කර සිටියි.

ඇමති මලික් වගකියන්න ඕන

එමෙන්ම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය භාරව කටයුතු කරන ඇමතිවරයා වන්නේ මලික් සමරවික්‍රම ඇමැතිවරයා බැවින් ඔහු මෙම සිදුවීම් සම්බන්ධව දැනුවත් බවත් ඒ අනුව මේ රටේ ජනතාවගේ මුදල් විනාශ කිරීමට ඔහු අනුබල දෙන්නේ ඇයි ද? යන්න ගැටළුවක් බවද එහි දැක්වේ.

එසේම මෙය සොයාබල කටයුතු කිරීම අග්‍රාමාත්‍යවරයා ඇතුළු වගකිව යුත්තන්ගේ වගකීම බව සිහිපත් කකරන එම නිවේදනයේ මෙසේද සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැගීමේ අරමුණ පෙර දැරි කොටගෙන 1978 දී මහකොළඔ ආර්ථික කොමිසම (Greater Colombo Economic Commission (GCEC) ) පිහිට වූ අතර රටේ ආර්ථිකය කොළඔට පමණක් සීමා නොකිරීමට 1992 දී එනම් මහකොළඔ ආර්ථික කොමිසම පිහිටුවා අවරුදු 14 ක ඇවෑමෙන් පසු 1992 දී එය ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ලෙස නම් කරන ලදී.

ආරම්භයේදී සභාපති තනතුර හා අධ්‍යක්ෂක ජෙනරාල් තනතුර එක් අයෙක් පමණක් දැරූ අතර 2014 අගභාගයේදී පමණ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අධ්‍යක්ෂක ජෙනරාල් තනතුරක් වෙනම පිහිටුවන ලදී. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති තනතුරු හෙබ වූ සමහර කීර්තිමත් නිලධාරීන් සිය වැටුප පවා ලබා නොගත් අතර සමහර සභාපතිවරු ලබා ගත්තේ සොච්චම් වැටුපක් පමණි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න