Language Switcher

V2025

මෛත්‍රීගේ හැම ගේමක්ම 2020 ජනාධිපතිවරණයට එන්න - ඒකාබද්ධ විපක්ෂය

මේ වන විට රට තුල මතුව තිබෙන දේශපාලන අස්ථාවරත්වයට ප්‍රධාන හේතුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය දේශපාලන ප්‍රතිවාදීන් දුර්වල කර පහතට දැමීමේ සැළසුම්සහගත උපායමාර්ගික වැඩ පිළිවෙලක් දියත් කර තිබීම බව ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබල මන්ත්‍රීවරයෙක් පවසයි.

ඒ යටතේ මෙතෙක් ඒකාබද්ධ විපක්ෂය වෙත ඉලක්ක කර දියත්කර තිබූ උපායමාර්ගික දේශපාලන ප්‍රහාරය මේ වන විට අග්‍රාමාත්‍යවරයා ඉලක්ක කර දියත් කර ඇති බවත් මෙහි එකම ඉලක්කය ජනාධිපතිවරයා එළඹෙන 2020 ජනාධිපතිවරණය සඳහා තරග කිරීමට පසුබිම නිර්මාණය කර ගැනීම බවද එම මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

එම මන්ත්‍රීවරයා මේ බව පවසා සිටියේ යෝජිත ශ්‍රීලනිප - ඒකාබද්ධ ආණ්ඩුව සම්බන්ධ වැඩිදුර තොරතුරු විමසීමේදී ය.

මැතිවරණය පෙරසිට තිබූ සැලැස්මක්

එහිදී අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ අග්‍රාමාත්‍යවරයා ඉලක්ක කර ජනාධිපතිවරයාගේ පාර්ශවය වෙතින් එල්ල කරමින් සිටින දේශපාලන ප්‍රහාරය මැතිවරණයට පෙර සිට සූදානම් කරගෙන සිටි බවට ඒකාබද්ධ විපක්ෂය වෙත විශ්වාසවන්ත තොරතුරු ලැබී තිබූ බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහිකිරීම කඩිනම් කරන්නට තම පාර්ශවය කටයුතු කළේද ඒ මත බවය.

අපිට කළින් අගමැතිට ගහන බව දැනසිටියා - ඒකාබද්ධ විපක්ෂය

ඊට අනුව ඒකාබද්ධ විපක්ෂය වෙත දේශාපලන ප්‍රහාරයක් එල්ලවීමට පෙර ආණ්ඩුව පාර්ශවයේ සිටින සිය ප්‍රධාන ප්‍රතිවාදියා දේශපාලන වශයෙන් දුර්වල කිරීමක් පළමුව සිදුවනු ඇති බවට තම පාර්ශවය නිවැරදිව තක්සේරු කළ බවද ඔහු පැවසීය.

ආණ්ඩුව නිල්ද ? අගමැති නිමල්ද ? නෙවෙයි ප්‍රශ්නය - 2020ට ඉන්නේ කවුද

එසේම මෛත්‍රී පාර්ශවය නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රීලනිප ආණ්ඩුවක් බිහිකිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ සහය ඉල්ලා සිටියත් එම පාර්ශවයේ ඇත්ත අපේක්ෂාව වන්නේ රනිල් නොවන වෙනත් දුර්වල නායකයකු අග්‍රාමාත්‍යවරයා බවට පත්කරගෙන ආණ්ඩුවේ ඉදිරි වසර දෙක පවත්වාගෙන යාම බව තමන් පැහැදිළිව දන්නා බවත් කතානායක කරු ජයසූරියගේ නම ඒ සඳහා යෝජනා වුයේ ඒ අනුව බවද එම මන්ත්‍රීවරයා සඳහන් කර සිටියි.

එසේ නොවන්නට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මුලිකත්වයෙන් ආණ්ඩුවක් නිර්මාණය කරන ලෙස තමන් මුල සිට සිදුකල දැනුම්දීමට ප්‍රතිචාර දක්වන්නට මෙතෙක් කාලයක් ගතවිය නොහැකි බවත් ඒ අනුව ජනාධිපතිවරයාට ඇති ප්‍රශ්නය වන්නේ අගමැති නිමල්ද නැතිනම් වෙනත් අයෙකුද යන්න නොව 2020 ජනාධිපතිවරණය වෙනුවෙන් තමන් නියෝජනය කරන පාර්ශවය තුළ සිටින ප්‍රබල ප්‍රතිවාදීන් එකිනෙකා ඉවත් කරන්නේ කෙසේද යන්න බවද ඔහු සඳහන් කරයි.

මෛත්‍රී ගැන විශ්වාසයක් නෑ- ඒකාබද්ධ විපක්ෂය

තවද ශ්‍රීලනිපය සහ එජාප මහලේකම්වරුන් අතර අත්සන් කර ඇති ගිවිසුම පවා අවලංගු කිරීමට ජනාධිපතිවරයා කටයුතු නොකර සිටින්නේ ඒ හේතුව මත බවත් ඒ නිසාම ඒකාබද්ධ විපක්ෂයේ සහය ඇතිව ශ්‍රීලනිප තනි ආණ්ඩුවක් ගැන වන අපේක්ෂාව ඈතට ගොස් ඇති බවද ඔහු පෙන්වා දෙයි. එසේම තම පක්ෂය කිසිවිටෙකත් මෛත්‍රී ජනාධිපතිවරයා ගැන විශ්වාසයක් නොතබන බවත් එය තම පාර්ශවයට නායකත්වය දෙන හිටපු ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ පවසා ඇති බවද ඔහු පැවසීය.

බෑ කිව්ව ෆවුසිත් අත්සන් කරලා

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ ශ්‍රීලනිප තනි ආණ්ඩුවක් වෙනුවෙන් පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීම සඳහා අත්සන් එකතු කිරීමේ ලේඛණයට මෙතෙක් අත්සන් කර නොතිබූ රාජ්‍ය අමාත්‍ය ඒ. එච්.එම්. ෆවුසි ඊයේ (17) රාත්‍රියේ ඊට අත්සන් තැබූ බවය.

ෆයිසර් ඇමති, ඇමති මහින්දට බොරු කියලා?

එසේම ඊයේ රාත්‍රියේ අදාළ ලියවිල්ල රැගෙන අමාත්‍ය ෆයිසර් මුස්තපා අමාත්‍යවරයා අමාත්‍ය මහින්ද සමරසිංහ මුණගැසීමට ගොස් ඇති බවද වාර්තා වෙයි. ඒ අමාත්‍ය මහින්ද සමරසිංහද ශ්‍රීලනිප තනි ආණ්ඩුවක් වෙනුවෙන් රාජපක්ෂ පාර්ශවයේ සහය ගැනීමට විරුද්ධව ඊට අත්සන් තැබීම ප්‍රතික්ෂේප කර සිටින පාර්ශවය නියෝජනය කරන්නෙකු වන නිසාය.

එහිදී අමාත්‍ය ෆයිසර්, මහින්ද සමරසිංහ අමාත්‍යවරයාට දැනුම්දී ඇත්තේ අදාළ ලේඛණය සඳහා අත්සන් කරන ලෙස ජනාධිපතිවරයා දැනුම්දුන් බවය.

ඒ අවස්ථාවේ මහින්ද සමරසිංහ අමාත්‍යවරයා දුරකථනය හරහා ජනාධිපතිවරයා අමතා එවැනි දැනුම්දීමක් සිදුකළාද කියා විමසා ඇත. නමුත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත්තේ තමන් එවැනි දැනුම්දීමක් සිදුනොකළ බවත් තමන් ශ්‍රීලනිප පාර්ශවයට දැනුම්දී ඇත්තේ හැකි ආකාරයට පාර්ලිමේන්තුවේ බහුතරය ඇති බව පෙන්වන ලෙස පමණක් බවය.

ඒ අනුව මහින්ද සමරසිංහ අමාත්‍යවරයා අදාළ ලියවිල්ල සඳහා තම අත්සන ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වන අතර ඊට අමතරව වත්මන් ආණ්ඩුව නියෝජනය කරමින් ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරු ලෙස කටයුතු කරන ශ්‍රීලනිප මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක, විජිත් විජිතමුණි සොයිසා ඇතුළු පිරිසක් අදාළ ලේඛණයට අත්සන් කිරීම ප්‍රතික්ෂේප කර සිටින බවද වාර්තා වෙයි.