මැකොස "SURPRISE" : ජන්දය තියෙන ජුනි 20 ජනාධිපතිගේ උපන් දිනය !

මැකොස  "SURPRISE"  : ජන්දය තියෙන ජුනි 20 ජනාධිපතිගේ උපන් දිනය !

මැතිවරණ කොමිෂන් සභාව පාර්ලිමේන්තු මැතිවරණ දිනය ජුනි 20 වැනිදා පැවැත්වීමට තීන්දුකර එබව ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත්කර ඇති අතර, එම දිනය වන විට මැතිවරණය පැවැත්වීමේ හැකියාවක් නැති බවට පෙනී ගියහොත් නැවත මැතිවරණය කල් දැමීම පිළිබඳව සලකා බැලීම සඳහා කොමිසමේ සාමාජිකයන් එකඟ වී ඇති බව වාර්තා වේ.

1949 වසරේ උපත ලැබූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපන් දිනය ජුනි මස 20 යෙදී තිබීම ද විප්ශේෂිත කාරණයකි.

මහ මැතිවරණයට දින නියම කිරීම සඳහා උසාවියේ මගපෙන්වීම ලබාගන්නා ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සති තුනක් ගතවන්නටත් පෙර ඡන්දය ජුනි 20 වැනිදා පැවැත්වීමට ජාතික මැතිවරණ කොමිසම තීරණය කිරීම ඇතැම් දේශපාලන ක්‍රියාකාරීන්ගේ විශ්මයට හේතුවී තිබේ. 

අද (20) මැතිවරණ කොමිසම රැස්වීමට නියමිතව තිබියදී කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය තමන්ගේ ‌‌ෆේස් බුක් ගිනුමේ සදහන් කර තිබුනේ, කල් තබා ඇති මැතිවරණය පැවැත්වීමේ  දින වකවානු තීරණය කිරීමේ බලය මැතිවරණ කොමිසන් සභාව සතු බව යි.

 "කල් තබා ඇති මැතිවරණය පැවැත්වීමේ දින වකවානු තීරණය කිරීමේ බලය  මැකොස සතුය. ඒ පිළිබඳව  විවිධ  අදහස් ජන මාධ්‍ය  තුළ පළවූ නමුත් එම දින වකවානු තීරණය කිරීම පිළිබඳව එනම් කල් තබන ලෙස හෝ කඩිනමින්  පවත්වන  ලෙස හෝ  නොයෙකුත්  අදහස් ප්‍රකාශ  වුවද  ඒ කිසිවකින් මැතිවරණය  කල් තැබීමට හෝ පැවැත්වීමට හෝ මැකොසට   නියම කිරීමේ බලපෑම්  කළ නොහැකිය," යි ඔහු එහි සටහන් කර තිබුනි.

 ලිපිවලට පරස්පරයි :

මේ ප්‍රකාශය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ පසුගිය මාර්තු 31 දාතමින් හා ඒයට පසුදින ඒනම් අප්‍රේල් 01 දිතමින් ජනාධිපතිවරයා වෙත යොමු කල ලිපි වලට පරස්පර බවක් පෙනේ.

 ඒ ලිපි මගින් මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය විසින් අවධාරණය කර තිබුනේ වැඩිවන කෝවිඩ් 19 රෝගින් සංඛ්‍යාව සලකන කල, මේ රෝගය සම්පූර්ණයෙන්ම පාලනය කිරිම අප්‍රේල් මාසය තුළ කළ නොහැකි බව පැහැදිලි බවය. 

"එහෙයින් පාර්ලිමේන්තු මැතිවරණය මැයි මස අවසන් සතිය තුළදී හෝ පැවැත්විය නොහැකි බවත්, එනිසා පාර්ලිමේන්තුව විසුරුවන ලද මාර්තු 2 දින සිට මාස තුනක් ඉකුත් වීමට පෙර නව පාර්ලිමේන්තුව රැස්විය නොහැකි බවත්, 2020.04.01 දින රැස්වූ මැතිවරණ කොමිෂන් සභාව නිරීක්‍ෂණය කරයි. මේ නිසා ඇති වන ගැටලු විසඳා ගැනීම සඳහා ගරු ශ්‍රේෂ්ඨාධිකරණයෙ මඟ පෙන්වීමක් ලබා ගැනීමට ගරු ජනාධිපතිතුමා කඩිනමින් ක්‍රියා කිරීම යෝග්‍ය බව මැතිවරණ කොමිෂන් සභාව අදහස් කරයි," යනුවෙන් එම ලිපියෙන් අවධාරණය කර තිබේ.

අනතුරුව මේ සම්බන්ධයෙන් අප්‍රේල් 06 වැනිදා ජනාධිපති ලේකම් විසින් නිකුත් කළ පිලිතුරු ලිපියෙන් හා අගමැතිවරයා විද්‍යුත් ජනමාධ්‍ය මගින් කළ ප්‍රකාශයෙනුත් පෙන්නුම් කර තිබුනේ ඡන්ද විමසීමේ දිනය නියම කිරිම මැතිවරණ කොමිෂමේ වගකිමක් වන අතර මැතිවරණ කොමිෂමේ කාර්යයන්ට සහ මගකීම් වලට මැදහත්වීමට තමන් අදහස් නොකරන බවයි.  

සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශය හා මහාචාර්ය හූල් ගේ විරෝධය :

කෙසේවුවද, මැතිවරණ කොමිෂන් සභාව මැතිවරණ දිනයක් නියම කිරීම සඳහා අද (අප්‍රේල් 20 වැනිදා) රැස්වූ අතර මැතිවරණය පැවැත්වීම සඳහා දිනයක් නියම කිරීම සඳහා සාකච්ඡා වට කිහිපයක්ම සිදු කර තිබුණි. 

මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් අප්‍රේල්16 වැනිදා මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමුකරන ලද ලිපියක මීට පෙර මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මැයි 28 වැනිදා මැතිවරණය පැවැත්විය යුතු බවට දූරකථනයෙන් තමාට යෝජනා කළ බව සඳහන් කර තිබුණි.

කෙසේ වෙතත් අද (20) මැතිවරණ කොමිසම හමුවේ අදහස් දක්වා තිබුණු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් දන්වා තිබුණේ ජුනි 02 වැනිදාට පෙර දිනයක කොවිඞ්-19 වසංගත තත්වය පහව යනු ඇතිදැයි සහතික කළ නොහැකි බවය. ඒ අනුව ජුනි 20 වැනිදා මැතිවරණ දිනය ලෙස තීන්දු කිරීමට එකඟ වී තිබේ.

මේ අතර හෙට (අප්‍රේල් මස 21)  දින පෙරවරුවේදී මෙවර මහ මැතිවරණයට තරඟ කරන පක්ෂ වල ප්‍රධානීන් සමඟ සාකච්චාවක් පැවැත්වීමටද මැතිවරණ කොමිසම කටයුතු යොදා ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න