ජුනි 20 ඡන්දය තියන්න : මැතිවරණ කොමිසම තීන්දුවක් අරගෙන !

ජුනි 20 ඡන්දය  තියන්න : මැතිවරණ කොමිසම තීන්දුවක් අරගෙන !

කොවිඩ් 19 වසංගත තත්ත්වය පදනම් කරගෙන කල්තබා ඇති පාර්ලිමේන්තු මැතිවරණය ජුනි 20 පැවැත්වීමේ සූදානමක් ගැන සන්ඩේ ටයිම්ස් පුවත්පතේ වෙබ් අඩවිය වාර්තා කර ඇත.

එම පුවත  කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ඇසුරෙන් වාර්තා කර ඇති අතර එය පහත දැක්වෙයි.

සන්ඩේ ටයිම්ස් පුවත මෙන්න !

Screenshot 20200420 195445

කොමිසමත් ඇවිලෙයි !

කෙසේ වුවත් කොවිඩ් 19 වෛරස වසංගතයෙන් ශ්‍රී ලංකාව මුළුමනින්ම ගැලවී ගත් බවට සහතිකයක් නැතිව තිබියදී මහ ඡන්දය පැවැත්වීමට දැරෙන උත්සාහය මැතිවරණ කොමිසමේ සාමාජිකයන් අතර ගැටුමකට තුඩු දී ඇති බවක් පෙන්නුම් කරයි.

අගමැති මහින්ද  ප්‍රමුඛ ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තුවේ බලය තහවුරු කරගැනීම සඳහා ඡන්දයකට යාමේ අවශ්‍යතාව අවධාරණය කරද්දී, විපක්ෂය නියෝජනය කරන ප්‍රධාන පෙළේ පක්ෂ සියල්ල පාහේ  පවසන්නේ මේ මැතිවරණය පැවැත්වීමට අවස්ථාව නොවන බවය.

එසේම මැයි 28 වනදා මහ මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කරන ලද යෝජනාවට සිය අකැමැත්ත පළ කළ බව එම කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල්  නිවේදනය කර තිබේ.

 තම විරෝධයට හේතුවන කරුණු 7කින් සමන්විත ලිපියක් කොමිෂන් සභාව වෙත යොමු කළ බවත්  මැතිවරණ කොමිසන් සභාවේ සාමාජීක රත්නජීවන් හූල් පවසයි.

 අප්‍රේල් මස 14 වැනි දා කොමිසමේ සභාපතිවරයා තමා වෙත දුරකතන ඇමතුමක් දී අද පැවැත්වෙන කොමිෂන් සභාවේ රැස්වීමට සහභාගී වන්නේදැයි විමසා මැයි මස 28 වැනි දා මැතිවරණය පැවැත්වීමට ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට යෝජනා කළ බව පවසන මහාචාර්යවරයා තමා එය ප්‍රතික්ෂේප කළ බවත්  සඳහන් කර ඇත.

 මැතිවරණයකට හැකියාවක් නොමැතිවීම, මහජන සෞඛ්‍යය, මානව හිමිකම් කඩවිය හැකි වීම, දකුණු කොරියාවේ වත්මන් තත්වය, කොමිසමට ඇති ගරුත්වය යනාදී කරුණු 7 ක් පදනම් කරගෙන අප්‍රියෙල් 16 වනදා මහාචාර්යවරයා කොමිසම වෙත යැවු ලිපිය ජනමාධ්‍ය වෙත නිකුත් කර ඇත.

මැකෝ ගේ ස්ථාවරය !

මේ අතර මැතිවරණ සමාජිකයන් හා පක්ෂ නියෝජිතයන් අතර සාකච්ඡාවක් පැවැත්වීමට පෙර මහ මැතිවරණය පැවැත්වීමේ දිනය මුල් කර ගනිමින් ඇතිවී තිබෙන කතා බහ පිළිබඳව මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා ෆේස්බුක් මගින් සිය ස්ථාවරය ප්‍රකාශයට පත් කර තිබේ.

 මැතිවරණ කොමිසම තුළ කතා කළ යුතු දේ විශේෂයෙන්ම විවාදයට තුඩුදෙන හෝ සමාජය සංවේදී කරුණු කොමිසම තුළ සාකච්ඡා කිරීමට පෙර ඒ පිළිබඳ ජනමාධ්‍ය හරහා ප්‍රසිද්ධ කිරීම තමා හෝ මැතිවරණ කොමිසම අනුගමනය කරන ක්‍රියාමාර්ගයක් නොවන බවයි ඔහු පවසන්නේ.

 තමාගේ මතය දැනට ප්‍රකාශයට පත්කළ නොහැකි බව පවසන මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය කල් තබා ඇති මැතිවරණය පැවැත්වීමේ දින වකවානු තීරණය කිරීමේ බලය මැතිවරණ කොමිසම සතු බවයි නිවේදනය කරන්නේ.

 ඒ පිළිබඳ විවිධ අදහස් ජනමාධ්‍ය තුළ පළ වූ නමුත් එම දින වකවානු තීරණය කිරීමේ බලය එනම් කල් තබන ලෙස හෝ කඩිනමින් පවත්වන ලෙස හෝ නොයෙකුත් අදහස් ප්‍රකාශ වුවද ඒ කිසිවකින් මැතිවරණය කල්තැබීමට හෝ පැවැත්වීමට හෝ මැතිවරණ කොමිසන් සභාවට නියම කිරීමේ බලපෑම කළ නොහැකි බවද අවධාරණය කර ඇත.

 තමාගේ පක්ෂපාතීත්වය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ප්‍රජාතන්තවාදයට හා ජනතාවට බවද මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සිය සටහනින් පවසා තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න