නීතිඥ හෙජාස් අත්අඩංගුවට ගැනීම : නීති විරෝධියි -:අත්තනෝමතිකයි !

නීතිඥ හෙජාස් අත්අඩංගුවට ගැනීම : නීති විරෝධියි -:අත්තනෝමතිකයි !

පාස්කු බෝම්බ ප්‍රහාරයට සැකපිට රහස් පොලිසිය විසින් ලේඛකයකු  හා සිවිල් ක්‍රියාධරයකු වන ප්‍රකට මුස්ලිම් නීතිඥයකු අත් අඩංගුවට ගැනීම නීති විරෝධී හා අත්තනෝමතික ක්‍රියාවක් ලෙස හෙලා දැකීමට ලක්වී තිබේ.

නීතිඥ හෙජාස් හිස්බුල්ලා, හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ගේ සහෝදරයකු සහ නම් නොකළ රේගු නිලධාරියකු  ඇතුළු හය දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අප්‍රේල් 14 දා අත් අඩංගුවට ගන්නා ලද්දේ “අලුත් මුහුණුවරකින්” විමර්ශන කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව බව පොලිසිය පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වීමෙන් අනතුරුව පාස්කු ප්‍රහාරය ඇතුළු ජන අවධානය යොමුවූ අපරාධ ගණනාවක විමර්ශනවලින් එතෙක් එම කටයුතු කළ හිටපු CID අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු නිලධාරීන් ඉවත් කර අලුත් කණ්ඩායම් වලට බාර දෙන ලදී.

පොලිසිය නව මුහුණුවරින් කළ විමර්ශන අනුව අත් අඩංගුවට ගන්නා ලද  හය දෙනා බෝම්බ කරුවන් සමග සෘජු සම්බන්ධතා පැවැත්වූ බවට චෝදනා ලබති.

“ඒ නීතිඥ වරයා බෝම්බ කරුවන් සමග සම්බන්ධතා පැවැත්වූ බවට තොරතුරු අනාවරණය වෙලා තියෙනවා. ඒ වගේම ඒ බෝම්බ කරුවන් සමග සම්බන්ධ වෙලා එක්තරා සංවිධානයක නිලතල දරමින් ගනුදෙනු කරපු බවට වාර්තා වෙලා තියෙනවා. ඒත් එක්කම ඒ ප්‍රහාරය සම්බන්ධයෙන් සැලසුම් කිරීම සම්බන්ධයෙන් යම් යම් සම්බන්ධතා තිබුණු බව හඳුනාගෙන තියෙනවා,” යි පොලිස් ප්‍රකාශක ජාලිය සේනාරත්න මාධ්‍යවේදීන් අමතා 15 බ්‍රහස්පතින්දා කොළඹදී කියා සිටියේය.

නීතිඥ සංගමයත් මැදිහත් වෙයි !

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස පොලිස් ප්‍රධානියාට ලියා ඇති ලිපියකින් අවධාරණය කර ඇත්තේ අත් අඩංගුවට ගැනීම පදනම් වී ඇත්තේ හෙජාස් හිස්බුල්ලා වෘත්තීය පදනමින් සහභාගී වූ ඇතැම් සංවිධාන අවස්ථා සම්බන්ධයෙනි.

පසුගිය ආණ්ඩු සමයේ දියත් කෙරුණු පාර්ලිමේන්තුවේ බලය ඇල්ලීමේ කුමන්ත්‍රණයට එරෙහිව මැතිවරණ කොමිසමේ සාමාජික ආචාර්ය රත්නජීවන් හූල් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම සහ ක්‍රිස්තියානි සහ මුස්ලිම් පල්ලිවලට අන්තවාදීන් පහරදීම් පිළිබඳ මූලික අයිතිවාසිකම් ඇතුළු නඩු වලට පෙනී සිටි නීතිඥ  හිස්බුල්ලා අත් අඩංගුවට ගන්නා ලද්දේ විරුද්ධ මත අඩස්සි කිරීම සඳහා බව ඔහු පවසා තිබේ.

“තමන් අත් අඩංගුවට ගැනීම නීති විරෝධී හා අත්තනෝමතික මෙන්ම විරුද්ධ මත අඩස්සි කිරීමේ අරමුණින්, එදිරිවාදිකම් පිරිමැහීමට කරන ලද්දක් බව හිස්බුල්ලා මහතාගේ තිරසාර පිළිගැනීමයි,” යනුවෙන් පවුලේ සාමාජිකයන් විසින් සමාජ මාධ්‍ය වෙත මුදා හරින ලද නිවේදනයක දැක්වෙයි.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුද්දීන් ප්‍රකාශ කරන පරිදි තම සොහොයුරා අත් අඩංගුවට ගැනීම දේශපාලන අරමුණින් කරන ලද්දකි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම අත් අඩංගුවට ගැනීම් සිදු කර ඇත්තේ කොරෝනා සමයේ රාජ්‍ය නිලධාරීන් සහ සිංහල මාධ්‍යවේදීන්ද හවුල්වී උත්සන්න කරනු ලබන මුස්ලිම් විරෝධය වැලැක්වීමට ගන්නා පියවර කවරේදැයි එක්සත් ජාතීන්ගේ සංගමයේ විශේෂ නියෝජිත මණ්ඩලයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගෙන් ලිඛිතව විමසා සතියක් ගතවෙද්දීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න