මෙ‍‍තෙක් කලක් කළ කැපකිරීම් එක් කණ්ඩාමක බල වුවමනාව වෙනුවෙන් අපතේ යැවිය යුතුද?

මෙ‍‍තෙක් කලක් කළ කැපකිරීම් එක් කණ්ඩාමක බල වුවමනාව වෙනුවෙන් අපතේ යැවිය යුතුද?
වසංගත තත්වය හේතුවෙන් විවිධ  පියවර ගනිමින් තිබියදී පටු බල උවමනාවන් වෙනුවෙන් මැතිවරණය පැවැත්වීමට දරන සාහසික උවමනාව පොදු ජනතාව විසින් පරාජයට පත්කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක අවධාරණය කරයි.
 
ඔහු මේ බව සඳහන් කර සිටියේ අද (12) ජවිපෙ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුව අමතමින්ය. 
 
එහිදී ඔහු දැක්වූ අදහස් පහත දැක්වෙයි.
 
මැතිවරණ කොමිසම සහ ජනාධිපති අතර ගැටුමක් !
 
මැතිවරණ කොමිසම සහ ජනාධිපතිවරයා අතර ප්‍රකාශිත ගැටුමක් සමාජයට ඉදිරිපත්වී තිබෙනවා. 2015 අගෝස්තු මාසයේ තෝරාපත්කර ගන්නා ලද පාර්ලිමේන්තුව සැප්තැම්බර් 02වැනිදා දක්වා වලංගුයි. ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ලැබුණු පළමු නිමේෂයේදීම මාර්තු 02වනිදා පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබුවා. චීනයේ වුහාන් නගරයෙන් නොවැම්බර් මාසයේ ආරම්භවූ කොරෝනා වසංගය ලෝකය පුරා ව්‍යාප්ත වෙමින් තිබුණා. මාර්තු 02වැනිදා වන විටත් චීන කාන්තාවක් ලංකාවේදී කොරෝනා ආසාධනයෙන් පෙළෙන බව තහවුරුවී තිබුණා. ලංකාවටත් වසංගතයේ තර්ජනය තිබීම ගැන පාලකයන්ට තේරුම් ගැනීමට ඕනෑතරම් සාධක තිබුණා. පාලකයන්ට එවැනි පුරෝකතනයක් තිබෙන්නටත් ඇති. කෙසේ වුවද වසංගතය මැඩපැවැත්වීමට වඩා ඔවුන්ගේ බලය තහවුරු කරගැනීමේ උවමනාව ඉදිරියට ගෙන මැතිවරණය ප්‍රකාශයට පත්කළා. මාර්තු 11වැනිදා ලාංකිකයෙකු කොරෝනා ආසාධනයෙන් පෙළෙන බව තහවුරු වුණා. ඉන්පසු තවත් පිරිසක් හමුවුණා. මෙම වසංගත තත්වය අපේ රට තුළ ව්‍යාප්ත වන බව කරුණු සහිතව සනාථවී තිබුණා. එය මැඩ පැවැත්වීම රටේත් ජනතාවගේත් දේශපාලන ව්‍යාපාරයක් ලෙස අපගේත් මූලික වගකීමක්. නමුත් ආණ්ඩුව ප්‍රමුඛතාවය දී කටයුතු කළේ ඔවුන්ගේ මැතිවරණ බල සිතියම එළා ගැනීමටයි. 
මේ නිසා මාර්තු 19වැනිදා දක්වා කෙරෝනා වසංගතය තීරණාත්මකව මැඩ පැවැත්වීමේ ක්‍රියාමාර්ග කිසිවක් ආණ්ඩුව අනුගමනය කළේ නැහැ. නාම යෝජනා බාරගැනීම ඔවුන්ගේ මුඛ්‍ය උවමනාව බවට පත්කරගෙන තිබුණා. 
 
පාර්ලිමේන්තුව විසුරුවාලීම නවත්වන්න තිබුණා !
 
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය ආපසු කැඳවා ජන වරමට අනුව මාස කිහිපයක් ඉදිරියට පාර්ලිමේන්තුව ගෙන යාමේ අවස්ථාව තිබුණා. නමුත් ජනාධිපතිවරයා සාක් රාජ්‍ය නායකයන් හමුවේ ප්‍රකාශ කළේත් අප්‍රේල් 25වැනිදා මහ මැතිවරණය පවත්වන බවයි. මේ මැතිවරණයෙන් විශාල ජයග්‍රහණයක් ලබා ගැනීමට ආණ්ඩුවට හැකි නිසා ඡන්දය කල් නොදමන බව සෞඛ්‍ය අමාත්‍යවරිය ප්‍රකාශ කළා. එක්සත් ජාතික පක්‍ෂය කැඩීබිඳී විසිරී සිටින නිසා පහසු ජයග්‍රහණයක් අත්පත් කරගැනීමට මැතිවරණය පවත්වන බව ලක්‍ෂ්මන් යාපා ඇමතිවරයා ප්‍රකාශකළා. වසංගතය පැතිරෙන් නැති ආකාරයට මැතවරණ ව්‍යාපාරය දියත් කරන බව ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා ප්‍රකාශ කළා. 
 
මැතිවරණ කොමිසම නිර්භීත තීන්දුවක් ගත්තා !
 
නමුත් මාර්තු මාසයේ 19වැනිදා නාමයෝජනා බාරගැනීමෙන් පසුව මැතිවරණ කොමිසමට ලැබුණ බලය අනුව මැතිවරණය පැවැත්වීම අප්‍රේල් 25වැනිදා සිට දින නියමයකින් තොරව කල් දැමුවා. අපි මැතිවරණ කොමිසමට ස්තුතිවන්ත වෙනවා. ජනතාව පැත්තෙන් හිටගෙන ඉතාමත් නිර්භීත තීන්දුවක් ගත්තා. එය නොගන්නට අපේ රටේ ජනතාවට කවර ඛේදවාචකයක් අත්වෙයිද කියන බරපතල ප්‍රශ්නය තිබෙනවා. ආණ්ඩුවේ සැහැසි බල උවමනාවට විරුද්ධව නිර්භීත තීරණයක් මැතිවරණ කොමිසම විසින් ගත් නිසා අද ජනතාව නිවාස තුළ රඳවා කොරෝනා මර්දන කටයුතු සාර්ථකව කරගැනීමේ හැකියාව ලැබී තිබෙනවා. ආණ්ඩුව සහ මැතිවරණ කොමිසම අතර ගැටීමක් නිර්මාණය වෙන්නේ මැතිවරණය කල් දැමීම හරහා බව අපි විශ්වාස කරනවා. 
 
මාස 3කට වඩා පාර්ලිමේන්තුව රැස්නොවී ඉන්න බෑ !
 
කොරෝනා තත්වය තවත් වර්ධනය වීම හමුවේ ව්‍යවස්ථාවේ මතුවිය හැකි ගැටලු කිහිපයක් පිළිබඳව මැතිවරණ කොමිසම ජනාධිපතිවරයාගේ අවධානය යොමු කළා. අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මාස 3කට වඩා වැඩි කාලයක් කුමන කරුණක් නිසා හෝ පාර්ලිමේන්තුව රැස්නොවී තබන්නට බැහැ. නීති සම්පාදනය කිරීම මූල්‍ය බලය නියෝජනය කිරීමක් නිසා ව්‍යවස්ථාවෙන් පාර්ලිමේන්තුවට මෙවැනි තත්වයක් ලබාදී තිබෙනවා. මාර්තු 02වැනිදා පාර්ලිමේන්තුව විසුරුවාහැරි දින සිට ජූනි 02වැනිදාට පෙර මැතිවරණය පවත්වා නව පාර්ලිමේන්තුව රැස්විය යුතුයි. නමුත් වසංගත තත්වය වර්ධනය හමුවේ ජූනි මස 02වැනිදාට පෙර මැතිවරණය පැවැත්වීම අතිශය දුෂ්කර බව මැතිවරණ කොමිසම නිරීක්‍ෂණය කරනවා. කොමිසම විසින් ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් ජූනි මස 02වැනිදායින් පසුව පාර්ලිමේන්තුව නොකැඳවීම නිසා ඇතිවිය හැකි ව්‍යවස්ථා අර්බුදය පිළිබඳව අවධානය යොමු කරවනවා. මෙවැනි තත්වයක් හමුවේ ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථ කථනයක් ලබාගැනීමට ජනාධිපතිවරයා යොමු විය යුතු බව මැතිවරණ කොමිසම දන්වා සිටියා. 
 
ශ්‍රේෂ්ඨාධිකරණය තියෙනවා බේරගන්න !
 
අපේ රටේ ව්‍යවස්ථාව අර්ථ නිරූපනය කිරීමේ බලය තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට. ව්‍යවස්ථාවේ යම් වගන්තියක් පිළිබඳව, ව්‍යවස්ථාවේ යම් අපැහැදිලි අදහසක් පිළිබඳව අර්ථ නිරූපනයක් ඉල්ලා සිටීමේ බලය ජනාධිපතිවරයාට තිබෙනවා. මෙම ව්‍යවස්ථා අර්බුදයට ශේෂ්ඨාධිකරණය හරහා අර්ථ නිරූපනයක් ලබාගැනීමේ බලය ජනාධිපතිවරයාට පමණක් තිබෙන නිසා මැතිවරණ කොමිසම විසින් ජනාධිපතිවරයා දැනුවත් කළා. එයට පිළිතුරක් ජනාධිපතිවරයා ලේකම්වරයා මගින් මැතිවරණ කොමිසමට යවා තිබුණා. 
 
ඒ ලිපියේ වැදගත් කරුණු දෙකක් සඳහන් වෙනවා. එක, මැයි 28වැනිදා දක්වා මැතිවරණයක් පැවැත්වීමට නොහැකි බව ජනාධිපතිවරයාට ඒත්තු නොයන බව. එනිසයි මැතිවරණ කොමිසමට යැවූ ලිපියේ සඳහන් වන්නේ මැයි 28වැනිදාට පෙර මැතිවරණයක් පැවැත්වීමට නොහැකි බව හැඟී නොයන බවයි. මැතිවරණයක් කියන්නේ පවත්වන දිනයේ ක්‍රියාවලියක් පමණක් නෙවෙයි. රාජ්‍ය නිලධාරීන් මැතිවරණයට සූදානම් කිරීම, පුහුණු කිරීම, අදාල ආයතන විධිමත්ව ක්‍රියාත්මක කිරීම, දේශපාලන ව්‍යාපාරවලට තමන්ගේ මතය ජනතාව වෙත ගෙන යාමේ අයිතිය සහ ජනතාවට ඒ ඒ දේශපාලන ව්‍යාපාර එක්ක සක්‍රිීයව මැදිහත්වීමේ අයිතිය වැනි සමස්තය තමයි ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ කියන්නේ. ජනතාවට ඒ ඒ දේශපාලන ව්‍යාපාරවලට තෝරාගැනීමට තිබෙන අයිතියත් දේශපාලන ව්‍යාපාරවලට තමන්ගේ ප්‍රතිපත්ති ජනතාවට පැහැදිලි කරීමේ අයිතියත් අහුරා දමා මැතිවරණ පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදය නොවන බව ආණ්ඩුව තේරුම් ගත යුතුයි. 
 
මැකොස එක්ක තරහා ගිහින් !
 
දෙවනුව, මැතිවරණයක් කල් දැමීමෙන් පසුව මැතිවරණ පැවැත්වීමේ දිනය තීරණය කිරීම මැතිවරණ කොමිසම සතු බව දන්වා තිබෙනවා. ජනාධිපතිවරයා වැඩිදුරටත් දන්වා තිබෙන්නේ අප්‍රේල් 25වැනි දින සිට මැතිවරණය කල් දැමීමෙන් පසුව මැයි 10වැනිදාට පෙර මැතිවරණයක් පැවැත්වීමේ හැකියාවක් තිබෙන බවක්. මැතිවරණය කල් දැමීම පිළිබඳව කොමිසම සමඟ උරණවූ ජනාධිපතිවරයා සහ ආණ්ඩුව මැ.කො.ස.ට එරෙහිව කටයුතු කිරීමට පටන් ගෙන ඇති බව පැහැදිලි වෙනවා. තමන්ගේ ස්වාමීන්ට නිරන්තරයෙන් වන්දිභට්ටකම් කරන පිරිස් ඉදිරියට ඇවිල්ලා මැතිවරණ කොමිසමට විරුද්ධව සාහසික ප්‍රහාරයක් දියත් කරමින් තිබෙනවා. ආණ්ඩුවේ සාහසික බල උවමනාව තහවුරු කරගැනීමේ අරමුණින් එය ක්‍රියාත්මකයි. 
 
ජූනි 02දාට පෙර මැතිවරණයක් පැවැත්වීමේ නොහැකියාව නිසා ව්‍යවස්ථා අර්බුදයක් ඇති වන්නේ නම් විසඳුම් ලබාගත හැක්කේ කෙසේද? නිදහස් හා සාධාරණ ලෙස ඡන්දය පැවැත්වීමේ ඉඩකඩ නිර්මාණය කිරීමට අදාල මූලික කරුණුවලට අනුව ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් පැවැත්වීමේ වාතාවරණයක් අපේ රටේ තිබේද යන්න ජනතාවගෙන් අප විමසා සිටිනවා. කොරෝනා වසංගතයේ ව්‍යසනයක් බවට පත් නොවී පාලනය කර ගැනීමට හැකිවී තිබෙන්නේ ආණ්ඩුව විසින් ගනු ලැබූ තීන්දු-තීරණ, ඒ අනුව කටයුතු කරන ලද සෞඛ්‍ය අංශයේ නිළධාරීන් ඇතුලු සියලුම කාර්ය මණ්ඩලය, ආරක්‍ෂක අංශයේ සාමාජිකයින් වගේම ප්‍රධාන සාධකය හැටියට ජනතාවගේ විශාල කැපකිරීම්. ඔවුන් නිවෙස්වලට සීමාවෙමින් වැදගත්ම කාර්යය කොටසක් ඉටුකර තිබෙනවා. විශාල මුදලක් ආයෝජනය කළ කර්මාන්තකරුවන් අද ඒවා වසා දමලා. සාමාන්‍ය ජන ජීවිතය සම්පූර්ණයෙන්ම කැපකරලා. පාසැල් දරුවන්ගේ පාසල් ජීවිත කැපකොට තිබෙනවා. ආහාර, සෞඛ්‍ය වැනි සීමිත අවශ්‍යතාවලට ජනතාවගේ ජීවිතය කැටිකොට තිබෙනවා. මෙවැනි අති මහත් කැපකිරීම් තුළින් කොරෝනා මර්දනයට ලබාදුන් සමස්ත දායකත්වය ආණ්ඩුවේ බල උවමනාව වෙනුවෙන් ගඟට කැපූ ඉනි වැනි තත්වයකට පත්කළ යුතු නැහැ. තනි කණ්ඩායමක් අතට බලය ලබාගැනීමේ කැත සාහසික උවමනාව වෙනුවෙන් පොදු ජනතාවගේ සියලු කැපකිරීම් යටත් කළ යුතුද? අප විශ්වාස කරන්නේ වසංගත රෝග පිළිබඳ විශේෂඥවරුන්ගෙන්, ක්‍ෂෙත්‍රයේ විද්වතුන්ගෙන්, ක්‍ෂේත්‍රයේ වෘත්තීය සමිතිවලින් සහ ලෝක සෞඛ්‍ය සංවිධානය වැනි ආයතනවල පැහැදිලි නිර්දේශයකින් තොරව මැතිවරණය පැවැත්වීම සඳහා දරන ප්‍රයත්නය ආණ්ඩුව විසින් නතර කළ යුතුයි. 
 
අඛණ්ඩව රෝගීන් වාර්තා වෙනවා!
 
ඊයේත් අදත් රෝගීන් 08දෙනෙකු වාර්තාවී තිබෙනවා. ඒ වගේම අද (12) සිට සති දෙකක කාලයක් ගම්පහ දිස්ත්‍රික්කය හරයා ගමන්බිමන් සම්පූර්ණයෙන්ම නවත්වා දමා තිබෙනවා. අප්‍රේල් 20වැනිදා ආරම්භ කළ යුතුව තිබුණු පාසැල්වාරය මැයි 11 දක්වා කල්දමා තිබෙනවා. වසංගත තත්වය හේතුවෙන් මෙවැනි පියවර ගනිමින් තිබියදී පටු බල උවමනාවන් වෙනුවෙන් මැතිවරණය පැවැත්වීමට දරන සාහසික උවමනාව පොදු ජනතාව විසින් පරාජයට පත්කළ යුතුයි කියලා අපි විශ්වාස කරනවා. අපි හැමදෙනාගේම ප්‍රමුඛතම කාර්යභාරය වන්නේ ජනාතාව අතුරු අන්තරාවලට පත් කරනවාද, එයින් මුදවා ගන්නවාද කියන සාධකය. ජූනි මාසයේ 02වැනිදාට පෙර පාර්ලිමේන්තුව කැඳවීමට නොහැකි වීමෙන් ඇතිවන ව්‍යවස්ථා අර්බුදය විසඳා ගන්නේ කෙසේද? මේ පාර්ලිමේන්තුව යළි කැඳවීමේ හැකියාව ජනාධිපතිවරයාට තිබෙනවා. ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට බලය ලබාදී තිබෙන්නේ මෙවැනි ව්‍යසනකාරී තත්වයන්වලදී රටත් ජනතාවත් වෙනුවෙන් ක්‍රියාත්මක වීමටයි. ඇතිවිය හැකි ව්‍යවස්ථා අර්බුදය වැළැක්වීමට පාර්ලිමේන්තුව කැඳවීමේ බලය ජනාධිපතිවරයා විසින් පාවිච්චි කළ යුතුව තිබෙනවා.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න