කොවිඩ් අස්සේ : මනිලොන්ඩර්ං සරුවේ !

කොවිඩ් අස්සේ : මනිලොන්ඩර්ං සරුවේ !

ඕනෑම ව්‍යසනයකදී කරල පැහෙන කොටසක්ද බිහිවේ. එය යුද්ධය හෝ වෙනත් ව්‍යසනයක්ද විය හැකිය. අප රට තුළ එබඳු අවස්ථා කීපයක් පෙන්වා දිය හැකිය.ගංවතුර දරුණු සුළි සුළං වැනි අවස්ථා ඊට උදාහරණය. සුනාමි ව්‍යසන අවස්ථාවය. මෙහිදී බොහෝ අයට විවිධ ක්‍රියාකාරකම් ඔස්සේ කරල පැහෙති.

දැන් අපේ රටේ තවත් එබඳු දරුණු ව්‍යසනයක් ඇතිවී තිබේ. ඒ කොවිඞ් 19 වසංගතයය. මේ ඔස්සේද ඇතැමෙකුගේ කරල පැසෙනු නියතය. එයට හේතුව රජය විසින් කර ඇති වැදගත් නිවේදනයකි. 

එය නම් විදේශ මුදල් මෙරට බැංකුවල තැන්පත් කිරීමට ඕනෑම අයකුට අවස්ථාව හිමිකර දීමය. එහිදී තැන්පත්කරුවන්ගේ නම් ගම් ආදී තොරතුරුවල රහස්‍යභාවය රැකීමට රජය පොරොන්දුවීමය. එය මේ අවස්ථාවේ රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ සාධනීය පියවරක් විය හැකිය. 

එසේ වතුදු පසුගිය යුගයේ රටේ ආන්දෝලනයට පත් දැවැන්ත මූල්‍ය ගනුදෙනුවලදී අවභාවිත වූ විශාල කළු සල්ලි ප්‍රමාණයක් සුදුකර ගැනීමට මෙහිදී අවස්ථාව නිතැතින්ම හිමි වේ. 

එහිදී එම ගනුදෙනුවලට සම්බන්ධ වූ ප්‍රසිද්ධ වූ පුද්ගලයන්ගේ මෙන්ම අප්‍රසිද්ධ එහෙත් කුප්‍රකට කළු සල්ලිකරුවන්ගේ මුදල්ද සුදු කරන වොෂින් මැෂිම බවට ශ්‍රී ලංකාවේ බැංකු පත්වනු ඇත. ඉන්පසුව එහි විශාල ධනස්කන්ධය තවදුරටත් රටෙහි කළු සල්ලි සේ සැලකෙන්නේ නැත.

ඒ අතරේ ශ්‍රී ලංකා මහ බැංකුව අලුතින්ම රුපියල් කෝටි 18900ක් මුද්‍රණය කර ඇතැයි යනුවෙන් ‘ශ්‍රී ලංකා ස්ටෝරි ඩොට් කොම්’ වෙබ් අඩවියේ සඳහන්ව තිබුණේය. එය සත්‍යයක්ද නොදන්නාමුත් එවැනි මුදල් විශාල ප්‍රමාණයක් මුද්‍රණය කිරීමටද හේතුවක් තිබේ. 

එනම් රටේ බැංකු විසින් මහ බැංකුව වෙත එවනු ලබන විදේශ මුදල් වෙනුවෙන් ශ්‍රී ලංකා මුදලින් ගෙවිය යුතුය. අනෙක අලුතින් මුදල් නිකුත් කළ හැක්කේද මහ බැංකුවේ පවතින විදේශ මුදල් සංචිතය අනුවය.

ඒ අනුව සලකා බැලුවහොත් ලංකාවේ වෙළෙඳ බැංකු වෙතින් විශාල ඩොලර් ප්‍රමාණයක් මහ බැංකු වෙත ලැබෙන්නට ඇතැයි යන්නද සැලකිය හැකිය.

 ඒවා කළු සල්ලිද යන්න මේ මොහොතේ කිසිවෙකුට ප්‍රශ්නයක් නොවනු ඇතිමුත් බොරදියේ මාළු බාන දූෂිතයන්ට මෙය මහඟු අවස්ථාවක් වී ඇත.

 භාණ්ඩාගාර බිල්පත් විශාල ප්‍රමාණයක් :

ඒ අතරේ මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත් විශාල ප්‍රමාණයක් නිකුත් කර ඇති බව අප්‍රේල් 4, 5, 6 යන දිනයන්හි මහ බැංකුව විසින් නිකුත් කරන ලද වාර්තාවන්හි සඳහන් වේ.

මෙවැනි අවදානම් සහගත අවස්ථාවක භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීමටත් කිසිවෙකු පෙළඹීමද තරමක සැකසහිත බව ආර්ථික විද්‍යාව ගැන දත් අයගේ මතයය.

එයට හේතුව වන්නේ නිකුත් කළ භාණ්ඩාගාර බිල්පත්වලට ලබා දුන් පොලිය සඳහන්ව නොතිබීමය. 

අනාගතයේදී මේ ප්‍රශ්නයද මතුවිය හැකිමුත් කොරෝනා ව්‍යසනයට මුවාවී එය සඟවා ගැනීමට පමණක් නොව, නිදහසට කරුණක් ලෙස ඉදිරිපත් කිරීමටත් බොහෝ සෙයින් ඉඩ තිබේ. ■

(නිමල් අබේසිංහ : ravaya.lk  )

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න