කොවිඩ් 19 ගැන මේ පණිවිඩය ගැබිණි මව්වරුන්ට !

කොවිඩ් 19 ගැන මේ පණිවිඩය ගැබිණි මව්වරුන්ට !

දැනට ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වසංගතයේ දී ගර්භණී මවුවරුන් ද සුවිශේෂී කාණ්ඩයක් ලෙස සැළකේ. ශ්‍රී ලංකාවේ වසරකට 360,000 ක් පමණ කාන්තාවන් ගර්භණී භාවයට පත් වන අතර වසරේ ඕනෑම අවස්ථාවක 201,000 ක් පමණ ගර්භණී මවුවරුන් සිටිති. එම නිසා මෙම කල පරිච්ජෙදයේදී ඔවුනගේ සෞඛ්‍යමය ආරක්ෂාව ඉතා වැදගත්ය.

කොවිඩ්19 වෛරසය ගර්භණී කාන්තාවනට බලපානුයේ කෙසේද පිළිබඳව නවතම විද්‍යාත්මක තොරතුරු නිකුත් වී ඇත. ඇමෙරිකානු ව්‍යධිවේදීන්ගේ සංගමයේ ව්‍යාධිවේද සහ රසායනාගාර විද්‍යා සංරක්ෂිත සඟරාවේ පසුගිය සතියේ නිකුත් වූ අලුත්ම කලාපයේ චීනයේ කොවිඩ්19 ආසාදනය වැළඳුනු ගර්භණී මවුවරුන් පිළිබඳ විශ්ලේෂණයක් පළකර ඇත.
චීනයේ ව්‍යාප්ත වූ කොවිඩ්19 වසංගතයේ දී 81000 ක් පමණ පුද්ගලයින් පිරිසක් ආසාදනය වුවද, එය වැළදී ඇත්තේ ගර්භණී මවුවරුන් 200 කටත් වඩා අඩු සංඛ්‍යාවකටය. මෙම විශ්ලේෂණයට ඇතුලත් වූ 38 දෙනෙක් අතරින් කිසිවෙකු අසාධ්‍ය තත්ත්වයකට පත් වී නොමැති අතර, අන් අයට මෙන් කිසිවෙකුට දරුණු නියුමෝනියාව වැළඳී නොමැත. කොරෝනා ආසාදනය හේතුවෙන් කිසිදු ගර්භණී කාන්තාවක් මරණයට පත් වී නැත. එලෙසම ආසාදිත මවගෙන් කුස තුළ සිටින දරුවාට රෝගය සම්ප්‍රේෂණය වී නොමැති බවටද තහවුරු වී ඇත.

ඉහත වසංගත කාලය තුළදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ විද්වතුන් පිරිසක් චීනය තුළ දී වෛරස් ආසාදිත ගර්භණී මවුවරුන් 147 ක් පිළිබඳව කරන ලද තවත් අධ්‍යයනයකදී නිගමනය කර තිබුණේ කොවිඩ්19 ආසාදනය ගර්භණී මවුවරුන්ට දරුණු රෝගී තත්ත්ව අවදානමක් ඇති නොකරන බවයි. රෝගය තහවුරු කරන ලද ගර්භණී මවුවරුන් 64 ක් සහ රෝගය සැක 82 ක් මෙම විශ්ලේෂණයට ලක් වූ අතර, රෝගී තත්ත්වය උත්සන්න වී ඇත්තේ ඔවුන්ගෙන් 8% කට පමණකි.

කෙසේ වෙතත්, සියලුම ගර්භණී මවුවරු මෙම කාලයේදී අනෙකුත් පුද්ගලයිනට වඩා ආරක්ෂාකාරී විය යුතුය. විශේෂයෙන්ම ඔවුනට හැකිතාක් නිවසටම වී සිටීමට උපදෙස් දෙනු ලැබේ. මහජනයා එකතු වෙන ස්ථාන වල ගැවසීම, පොදු ප්‍රවාහන සේවා භාවිතා කිරීම, වැඩි පිරිසක් එකතු වන විනෝද චාරිකා, විවාහ හෝ මංගල උත්සව, අනෙකුත් ප්‍රිය සාද, ආගමික උත්සව, පොදු හෝ සුපිරි වෙළඳ සල් හෝ සාප්පු සංකීර්ණ වලට යාමෙන් වැලකි සිටීමට උපදෙස් ලබා දී ඇත. උණ හෝ සෙම්ප්‍රතිශ්‍යාව වැළඳුනු පුද්ගලයින් ගෙන් ඈත්ව සිටීම ද වැදගත්ය.

සෑම ගර්භණී මවක් ම උණ හෝ ඒ සමග සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස, උගුරේ වේදනාව ආදී රෝග ලක්ෂණ ඇතිවුවහොත් පළමු දිනයේ දීම ළඟම ඇති රජයේ රෝහල වෙත යොමු විය යුතුය. හැකි සෑම විටම පවුල් සෞඛ්‍ය නිලධාරිනියට තමාගේ ගැටළු සහ රෝගී තත්ත්ව නිරන්තරයෙන්ම දැනුම් දීම අත්‍යවශ්‍යය.

මෙම වසංගත අවස්ථාවේදී, බුද්ධිමත්ව කටයුතු කිරීමෙන් අවාසනාවන්ත සිදුවීම් වළක්වා ගත හැකිය. 

Kapila J IMC2ප්‍රජා වෛද්‍ය  විශේෂඥ කපිල ජයරත්න   

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න