මා මෙහි ලියන ඉතිහාස සටහන් ඇසුරින් පොතක් ලියන ලෙස Dineth Mallikarachchy (දිනෙත් මල්ලිකාරච්චි) ඇතුළු මිතුරන් කිහිප දෙනෙක් ම යෝජනා කළහ.
එහෙත් ඉතිහාස පොතක් ලිවීම පහසු කටයුත්තක් නොවේ. වෝල්ටෙයාර් පැවසු පරිදි "ඉතිහාසය යනු මළවුන් මත අප කරනා උපක්‍රමික සෙල්ලමකි". (History is only a pack of tricks we play on the dead). ඉතිහාසකරුවා ගේ කාර්යය හැමවිටම උපහාසයට ලක්වෙයි; දෝෂදර්ශනයට ලක්වෙයි.;මහාවංශය ලිවීම ගැන මහානාම හිමි බැණුම් අසන්නේ ඒ අනුවය.
වෝල්ටෙයාර්
එබඳු එක් දෝෂ දර්ශනයක් මෙසේය.
"ඉතිහාසඥයා යනු මිය ගිය මිනිසුන් ගේ සොහොන් වළවල් හාරා එහි ඇති ඇට කටු ගනිමින්, පිරිමදිමින් ඒවායේ අයිතිකරුවන්ටත් වඩා හොඳින් ඒවා ගැන දන්නා බව පවසන අමුතු මිනිසෙකි. ඔහු අතීතයේ අළු මත වාඩි වී, අනාගතයේ කිසිවකු නොකියවන පොත් ලියමින් තමන්ගේම වූ ලෝකයක අතරමං වී සිටියි"
නමුත් ඉතිහාසකරුවාට අනුකම්පා කළ අය ද අපට හමුවේ.

ඉන් එක් අයකු මෙසේ කියා ඇත.
"අවාසනාවන්ත ඉතිහාසඥයා කිසිදාක සම්පුර්ණ කළ නොහැකි ප්‍රහේලිකාවක කැබලි සොයමින් ජීවිතයම දියකර හරින්නෙකි. ලෝකය ඉදිරියට දිව යද්දී , ඔහු තනිවම නැවතී මියගිය අයගේ හඬට කන්දෙයි. කිසිවෙකුට ඇසෙන්නේ නැති ඒ මැසිවිලි සහ දුක්ගැහැට විස්තර කරමින් ඔහු කාලය විසින් ගිලගත් මිනිස් මතකය බේරාගැනීමට දරණ උත්සාහය සැබවින්ම ශෝක ජනකය"
එසේම සමහරු වඩා රොමෑන්තික ලෙස ඉතිහාසකරුවා උත්කර්ෂයට නංවති.
මේ එබදු එක් සටහනකි.
"ඉතිහාසඥයා මළවුන්ට පණදෙන මන්ත්‍රකරුවෙකි. ඔහුගේ පෑන ස්පර්ශප වූ විට දුවිල්ලට වැළලී ගිය අධිරාජ්‍යයන් නැවත ඉදිවෙයි. නිහඬ වූ රණකාමීන්ගේ කඩු නැවත දිස්න දෙයි. ඔහු අතීතයේ අඳුරු මාවත් දිගේ පහනක් ඇතිව යන වන්දනාකරුවෙකි. ඔහු ලියන සෑම වචනයක්ම මනුෂ්‍ය වර්ගයාගේ ශ්‍රේෂ්ඨත්වය සහ ඛෙදවාචකය දක්වන සිතුවමකි.
ඒ අතර ඉතිහාස කරුවා පිළිබඳ කකියන ඉතා රළු පරලු කතාවක් ද උපුටා දැක්වීමට මා කැමතිය.
ඒ මෙසේය.
"ඉතිහාසඥයා යනු ජාතික අභිමානය නැමැති මත්ද්‍රව්‍ය නිපදවන රසායනාගාර සේවකයෙකි. ඔහු අතීතයේ සිටි සාමාන්‍ය මිනිසුන් දෙවිවරුන් බවට පත්කරයි. පරාජිත සටන් ජයග්‍රහණ ලෙස හුවා දක්වයි.ඔහු කරන්නේ ජනතාවට අනාගතයට මුහුණ දීම සඳහා අවශ්‍ය 'වීර ඉතිහාසය'' නමැති සිහිනය මවා දීමයි"
මේ වැල්වටාරම් මෙතන ලියන්නේ මා ද ඉතිහාස සටහන් ලියන්නෙකු වී සිටින නිසා මාගේ කටයුත්ත මා ඉදිරියේම ප්‍රහසනයක් ලෙස රඟ දැක්වෙන බැවිනි.
මා අයිති වන්නේ ඉහත සඳහන් අයගෙන් කුමන ගොඩටදැයි තීරණය කිරීම ඔබට බාර ය.

කරු පරණවිතාන


