කුමාර හෙට්ටආරච්චි ගේ සේකර මතකයක්

කුමාර හෙට්ටආරච්චි ගේ සේකර මතකයක්

ඒ 1986 වසරයි...

එකල මා පේරාදෙණිය සරසවියේ කෘෂිවිද්‍යා පීඨයේ දෙවන වසරේ පැඟිරෙකි.

මහගමසේකර මහා කවියා අපෙන් වියෝ වී හරියට ම දසකයක් පිරෙන අවුරුද්දයි.

ඒ වෙනුවෙන් මහගමසේකර සමරු උළෙල ගම්පහ රදාවානේදී අති උත්කර්ෂවත් ලෙස සංවිධානය කෙරෙන බවට මා ලද පුවතින් ඉමහත් අමන්දානන්දයට පත්වීමි.

එම උළෙලට සමගාමීව පද්‍ය නිර්මාණ තරගයක් ද සංවිධානය කෙරෙන බව දැන, මම ද කවියක් ලියා, ගලහා හංදියෙන් තැපැල් කෙළෙමි.

අනතුරුව, කෘෂිවිද්‍යා පීඨයේ ගොක් මැස්සන්, පුරුක් පණුවන්, සලබයින් සහ කීඩෑවුන් අතර මා ජීවිතය බෙදා හදාගනිද්දී මගේ කවිය ජය ලබා ඇති පුවත දැන පස්වනක් ප්‍රීතියෙන් පිනාගොස්, සරසවි සුමිතුරන් සමඟ හීන් අඩියක් ගසා ප්‍රීතිවීමි.

1986 ජනවාරි 13වන දා හැන්දෑවේ ගලහා හන්දියෙන් කොළඹ බසයක නැඟ පිටත්වී පිටකොටුවට ආවෙමි. එකල මා කොළඹ ලෙස දැන සිටියේ පිටකොටුවත්, මරදානත් පමණි. හරියට කළුවා මාරපන ගියා වගේය.

අපේ ගම් පළාතේ බන්දුල මල්ලිලාගේ ක්‍රවුන් බේකරිය, පිටකොටුවේ හරස් වීදියක තිබෙන බව දැන, පාර අසාගෙන එහි ගියෙමි. ආදරයෙන් මා පිළිගත් බන්දුල මල්ලී සමග රෑට කොත්තුවක් ගිල දමා, බේකරියේ ම පිටුපස ගෝනි මිටියක් උඩ දෙගම්බඩ රජා සේ චිත්තප්‍රීතියෙන් යුක්තව නිදාගත්තෙමි.

පසුදා උදෑසන ජනී ජනයා ගෙන් පාර අසාගෙන කිරිඳිවැල බසයක නැග රදාවානට ආවා මතක ය.

මහගමසේකර සමරු උලෙළ අති උත්කර්ෂවත් ලෙස, රදාවාන පංසලේ සංවිධානය කර තිබිණ. සිව්දෙසම අලංකාර ලෙස සරසා තිබූ අතර, ලවුඩ්ස්පීකරයෙන් සේකරගේ ඉමිහිරි ගීත හාත්පස පුරා දෝරේ ගලා යයි.

සොඳුරු චිත්‍ර ශිල්පී කාරියවසම් ජීවන්දර සමග මම වටපිටාවේ ඇවිදිමින් ඒ මහා මුනිවරයා මෙනෙහි කළෙමි.

කලාකරුවන්ගෙන්, සාහිත්‍යවේදීන්ගෙන් පංසලම පිරී ගොසිනි.

සරච්චන්ද්‍ර, කේ. ජයතිලක, ඒ. වී. සුරවීර, වෙ. වී. අබේගුණවර්ධන, සෝමරත්න බාලසූරිය, ඩබ්ලියු. ඒ. අබේසිංහ, ඇරැව්වල නන්දිමිත්‍ර, කුලසේන ෆොන්සේකා, ජයසේන ජයකොඩි, සිරිලාල් කොඩිකාර, සුනිල් ආරියරත්න, නන්දා මාලනී, ජයලත් මනෝරත්න, දො. ඩ. ඩයස් ඇතුළු සංගීතඥයන්, නාට්‍යකරුවන්, සිනමාකරුවන් සහ පුවත්පත් කලාවේදීන්ගෙන් උත්සව සබාවම පිරී ගොසිනි.

ජයවඩු විතානයෝ හිස ගිනිගත්තා සේ එහෙ මෙහෙ දුවමින්, උත්සවයේ සංවිධානයේ බර කරට ගෙන ගිනිරාමෙට මාංසිවෙති. හරියට තුංමං හංදියේ අයිසේ වගේ ය. අතෙන්ටත් දුවයි. මෙතෙන්ටත් දුවයි. උපැසට උඩින්ද බලයි. යටින්ද බලයි. ''අයිසෙ බලනව අර සංග්‍රහ කටයුතු ලෑස්ති ද කියල...''

''එහෙමයි හාමුදුරුවනේ... අමරදේව මාස්ටර් පාන්දරින්ම ආව...''

සම්මාන සහතික ප්‍රදානය මහගමසේකර මැතිනිය අතිනි. ඈ මගේ දෝතට මට හිමි සම්මානය පිරිනමමින්, මට මෙසේ ආශීර්වාද කළා මතක ය.

" සේකර වගේම කවියෙක් වෙන්න..."

එතුමියගේ ඒ ආදරණීය ඉල්ලීම ඉටුකිරීමට තවත් ආත්ම ගාණකින්වත් මට බැරි බව මම දනිමි.

උත්සව සභාව පැවති ධර්මසාලාවේ කොට බිත්තිය අල්ලාගෙන, සැරයටියක්ද අතින් ගත්, කාල වර්ණ පීතෘවරයාට මම හෙමින් ළංවී කතා කෙළෙමි.

ඒ මහගමගේ ජෝන් අප්පුහාමි ය; මහගමසේකරයන් ගේ පියා ය.

ඔහු බොහෝ ළෙන්ගතුව මා සමග දොඩමළු වූවා පමණක් නොව, කන්ද නැග සේකර ජීවත්වූ නිවස පෙන්වීමට මා කැටුව ගියේ ය. ගෙය මුළුමනින්ම වසා දමා පාළුවට ගොස් තිබිණ.

ගේ වටේ ඇවිද, තුෂ්නිම්භූතව බලා හුන් ගහකොළ මැදින්, සේකර තාත්තා මා බස් හෝල්ට් එකට ම එක්කගෙන ඒමට ද කාරුණික විය.

එතැන බස් හෝල්ට් එකේ තවත් සුන්දර මිනිසෙක් වයලීනයකුත් එල්ලාගෙන සිටී.

ඒ පියසිරි විජේරත්න නම් සොඳුරු ගායකයා ය.

'බැද්ද පුරා සුදු රෙද්ද වගෙයි අද... ඉද්ද පනා මල් කැන් පිපිලා...'

බසයක් පැමිණි විට, මම සේකර තාත්තාට වැඳ නමස්කාර කර, සම්මානය ද තුරුලුකරගෙන යක්කල හංදියට පැමිණ, පේරාදෙණිය බලා ආවේ නැවතත් පුරුක් පණුවන්, ගොක් මැස්සන් හා කීඩෑවන් සමග එක්වීමටයි.

කුමාර හෙට්ටිආරච්චිකුමාර හෙට්ටිආරච්චි

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න