අපේ වාසනාවට උපන් ලතා

අපේ වාසනාවට උපන් ලතා

හැත්තෑ වසරකට අධික කාලයක් සිංහල ගීත ලොව ඒකාලෝක කළ ගායන තාරකාව වන ලතා වල්පොළ පසු ගිය 27වන දින සිය ජීවන ගමනට සමු දුන්නා ය.

මතු පළ වන්නේ ඇගේ 91වන ජන්ම දින සැමරුම වෙනුවෙන් සරසවිය හිටපු කර්තෘ අරුණ ගුණරත්න තැබු සටහනකි. ඔහු යළි එම සටහන පසුගිය 27වන දින ම සිය face book පිටුවෙහි පළ කර තිබුණි.

1953 වසරේ පෙබරවාරි මස 14වෙනි දා තිරයට ආ 'එදා රෑ' චිත්‍රපටය අපේ සිනමා වංශ කතාවේ නමක් තබනුයේ කාරණ කිහිපයක් නිසා ය. එකක් එය මෙරට චිත්‍රගාරයක වැඩ ඇරඹූ මුල්ම චිත්‍රපටය වීම ය. එනම් සුන්දර සවුන්ඩ් චිත්‍රගාරයේ වැඩ ඇරඹූ මුල්ම චිත්‍රපටය වීම ය. දෙවැන්න එහි ප්‍රධාන චරිතය රඟපෑ නිළිය සීතා ජයවර්ධන සිනමා රංගනයට පිවිසි මුල් ම උපාධිධාරිණිය වීම ය. තුන්වැන්න සිනමාවේ විශිෂ්තම පසුබිම් ගායිකාව වූ ලතා වල්පොළ එමගින් දොරට වැඩීම ය.

ලතා චිත්‍රපට කිහිපයක රංගනයේ ද නියැළුණු බැවින් ඇය වර්තමාන සිනමාවේ සිටින ජ්‍යේෂටතම ගායිකාව පමණක් නොව නිළිය ද වන්නී ය.

 

edare1

 

රීටා ජෙනවි, ලතා වල්පොළ ලෙස නාමකරණය වීම

රීටා ජෙනවි ප්‍රනාන්දු නමින් 1934 නොවැම්බර් මස 11වෙනි දින උපත ලද ඇය සිනමා පසුබිම් ගායනයට පිවසෙන විට ද 'ලතා' ලෙස නම් ලබා සිටියා ය. මුල් චිත්‍රපට කිහිපයේ ඇය ගේ නම සඳහන්වූයේ ලතා ජී. ප්‍රනාන්දු යනුවෙනි. ප්‍රනන්දු නාමය අතහැර ඇය වල්පොළ මහත්මිය බවට පත්වූයේ 1958 වසරේ අප්‍රේල් මස හත් වැනි දිනයේ ය. ඇය ගේ රීටා ජෙනවි නාමය ලතා ලෙස වෙනස් කරලනුයේ ඇය සමග මුල් යුගයේ අතිශය ජනප්‍රිය ගී රැසක් ගායනා කළ සුසිල් ප්‍රේමරත්න ය. සුසිල් ලතා ට එම නම ලබා දෙනුයේ ලතා මංගේෂ්කාර් ගේ නම යනුවෙන් ය යන්න ප්‍රකට මතයකි. එසේ නම් සුසිල් ලතා ට එම නාමය ලබා දෙන විට මංගේෂ්කාර් ද කීර්තිමත් ගායිකාවක නොවේ. ලතා මංගේෂ්කාර් ගේ මුල්ම හින්දි චිත්‍රපට ගීතය ඇතුළත් මැහල් තිරයට එන්නේ 1949 වසරේ ය. ලතා ගේ 91වන ජන්ම දිනය නිමිති කොට ලියැවෙයන මෙම ලිපියෙහි අවධාරණය කරනුයේ ඇය චිත්‍රපට පසුබිම් ගායිකාවක ලෙස තැබූ සලකුණ පිළිබඳ අර්ධ විමසා බැලීමයි. හැත්තෑ වසරක් මුළුල්ලේ චිත්‍රපට පසුබිම් ගායිකාවක ලෙස ඇය ගේ මුද්‍රාව විමසා බලන්නට පුවත්පතක ඇති ඉඩ කඩ සීමාසහිත ය.

image 3d2c6bf565

සාම්ප්‍රදායික මතයට අභියෝගයක් ව

ඇය ගායිකාවක ලෙස අපේ ඉතිහාසයේ අගය කළ යුත්තේ එදා මෙදා බිහි වූ සියයකට ආසන්න නිළියන් වෙනුවෙන් පසුබ්ම් ගායනයෙන් සම්මාදම් වූ නිසා පමණක් නොව කලා ලෝකයට පිවිසීම ස්ත්‍රියකට අකැප යැයි ඇය ගේ පියා ද ඇතැම් ඥාතින් ද පමණක් නොව ඇගේ පාසල ද, වතාවත්හි යෙදුණු පල්ලිය ද ඇදහූ සමයක එම මත දුරලා දෙපයින් සිටිමට ඇය දැක්වූ නිර්භීත ස්වරූපය විමසීමේ දී ය. ඇය වැන්නියන් විසින් එලෙස බමුණු මතය නොබිඳන්නට අදටත් මෙරට ඇතැම් ජනප්‍රිය ගායිකාවකට හෝ නිළියකට සිදුවනුයේ ගෙයි මුල්ලට වී ජීවත්වන්නට ය. ඇතැම් කාන්තාවන් කලා ලොවට පිවිසිය ද විවාහයෙන් පසු එයට වැඩි ඉඩකඩක් දී සියලු හැකියා පවුල වෙනුවෙන්  කැප කරති. එහෙත් ලතා මුළු ජිවිතය ම ගායනයේ යෙදුණා ය; දරුවන් ද හැදුවා ය.

003 225x300

 

පළමු සිනමා ගී ඇරයුම

ලතා නැතහොත් රීටා ගායනයට පිවිසෙනුයේ පල්ලියේ ගීතිකා සමග ය. එහෙත් ඇයගේ ගීතවත් ස්වරය එහි ගායනා අතර සිර ගත නොවිණ. මුල් යුගයේ ඇය ගේ තැටියට නැගුණ ගී මෙහිදී උදාහරණසේ දැක්විය හැකි ය. ඇය චිත්‍රපට පසුබිම් ගායනයට පිවිසෙන විට ද ගායිකාවක හැටියට නමක් දිනා සිටියා ය. එදා රෑ චිත්‍රපටයේ ගී ගැයීමට පෙර ඇයට පසුබිම් ගායනයෙහි ආරාධනාව ලැබෙනුයේ සුජාතා චිත්‍රපටය උදෙසා ය.

මෙරට ජනාකර්ෂණීය සිනමාවේ හැරවුම් ලක්ෂයක් වූ සුජාතා චිත්‍රපටයේ පසුබිම් ගායනයට ලතා ඉදිරිපත් වූයේ නම් ඉන්දියානු ගායිකාවන් ගෙන් අප ඇසූ 'ප්‍රේම ගඟේ මැණික්', 'සොමිබර පෙම්රැළි', 'ප්‍රේමා ලෝකය' නිවි ගියා යනාදි ගී ඇය ගේ හඬින් අපට අසන්නට ඉඩ තිබිණ. මෙම ගී ගායනය සඳහා ඇය ඉන්දියාවට ගෙන යෑමට නිෂ්පාදක කේ. ගුණරත්නම් නියෝජිතයකු නොඑවා තමා ම ගෙදරට පැමිණි බව ඇය ගේ ජීවන වෘත්තාන්තය ඇතුළත් ලතා හෙළ ගී රැජින ග්‍රන්ථයේ සඳහන් ය. එයම ඒ වන විට ලතා අත්පත් කර සිටි කීර්තයට හොඳ නිදසුනක් ය.

උත්සාහය අත් නොහළ නිෂ්පාදකවරයා

සුජාතා චිත්‍රපටයේ ලතා ට ගී ගැයීමේ අවස්ථාව අහිමිවීම නිසා සිදු වූ කාරණය නම් සිංහල හඩින් ගී ගයන ඉන්දියානු චිත්‍රපට පසුබිම් ගායිකාවන් රැසක ගේ ගී මෙරට චිත්‍රපට ගී නාමාවලියට එක්වීම පමණකි. ගුණරත්නම් එයින් පසුබට නොවී සිය තුන්වන නිෂ්පාදනය වූ රදළ පිළිරුව චිත්‍රපටයේ ගායනයට පමණක් නොව රංගනයට සඳහා ද ලතා දායක කර ගත්තේ ය. පසු කලෙක සුජාතා තැනූ චිත්‍රගාරයේ ම එම සංගීත අධ්‍යක්ෂවරයා විසින් ම මෙහෙයවන සංගීතයෙන් කේ. ගුණරත්නම් ගේ නිෂ්පාදනයෙන් සහ සුජාතා අධ්‍යක්ෂ ටී. ආර්. සුන්දරම් ගේ අධ්‍යක්ෂණයෙන් තැනුණු වනමෝහිනි චිත්‍රපටයේ ගී ගයනුයේ ලතා ය; එහි ප්‍රධාන නිළිය වූ කාන්ති ගුණතුංග වෙනුවෙන් ගී ගයන්නී ලතා ය. සුජාතාට නැතහොත් ෆ්ලොරීඩා ජයලත්ට පසුබිම් ගී ගැයූ ජමුණා රාණි සහ කේ. රාණි, වනමෝහිනි සඳහා ගයනුයේ අවශේෂ නිළියන් වෙනුවෙනි. ලතාට ගයන්නට ලැබෙනුයේ ජනප්‍රිය හින්දි තනු අනුව සැකසණු ගී හයකි. වනමෝහිනි ගී අසෙන්නෙකුට අදාළ හින්දි ගී සිහිපත් වනු‌යේ කලාතුරකින් ය. ඉන්දිය චිත්‍රගාරයක අනුකරණ තනු අනුව වුව අනන්‍යතාව රැක ගනිමින් ලතා ගේ ගායනය කෙතරම් විශිෂ්ටදැයි අද ද චිත්‍රපටයෙන් උපුටා ගත් ගී සවන් දෙන්නකුට සිතිය හැක්කේ ය.

Wanamohiniවනමෝහිනි චිත්‍රපටය

අනාගත සැමියා සම්මුඛ ව

එදා රෑ චිත්‍රපටයේ ගී පටිගත කෙරුණු යන්ත්‍රය කඳානේ චිත්‍රගාරයේ වාහනයක සවි කර තීබණ. ඒ මැගී ලෙස විකට චරිතයක් රඟපෑ වංශවතී දවුලුගල වෙනුවෙනි. ලතා ගේ සහාය ගායකයා වනුයේ හර්බි සෙනෙවිරත්න ය. ගීය රචනා කර තිබුණේ ද හර්බි විසින් ම ය. තෑගි නම් කෝක උනත් පිරියා නමින් එම ගීයෙහි පදමාලාව ඇරඹේ. චිත්‍රපටය උදෙසා ඇය ගී තුනක් ම ගායනා කළාය. රදළ පිළිරුව උදෙසා ඇය සේලම් නගරයේ පිහිටි එවකට දකුණු ඉන්දියාවේ තිබුණු ඉහළම චිත්‍රගාරයක් වූ මොඩර්න් චිත්‍රගාරයට ගියා ය. ඇය විසින් ගායනා කරන ලද ගීත සංඛ්‍යාව දහසකට වැඩි මිසක් කිසිසේත් ම අඩු නැත. ඒ චිත්‍රපට, වෙළෙඳ තැටි , කැසට් පට යනාදි සියලු ගී සැලකීමේ දී ය. ඇය චිත්‍රපට ගීයෙහි ස්ථාවරත්වය ලද්දේ 'ප්‍රේමතරගය' චිත්‍රපටයෙනි. ප්‍රේම තරගය ඇය චිත්‍රපට ගීයෙහි ස්ථාවර කළා පමණක් නොව ඇය ගේ අනාගත සැමියා ද සොයා දෙන්නට සමත් විය.

හැඟීම් ප්‍රකාශනය සඳහා ගීතය උපයෝගි කර ගැනීම

ඉන්දියානු කලාපයේ චිත්‍රපට පසුබිම් ගායකයා සහ ගායිකාව හුදු ගායකයින් පමණක් නොවෙති. ඔවුහු ඉතා හොඳ හඬ නළුවෝ වෙති. ගී ගායනයෙහි අති විශිෂ්ට කවරකු වුව ද චිත්‍රපට පසුබිම් ගායනය හැම දෙනාට ම ගැළපෙන්නක් නොවේ. චිත්‍රපට පසුබිම් ගායනය අපේ සිනමාවට පිවිසෙනුයේ පැරණි පාර්සි නාට්‍ය ඇසුරෙන් උපදින ඉන්දියානු සිනමාව හරහා ය. නළු නිළියන්‌ගේ හැඟිම් ප්‍රකාශ කිරීම සඳහා ගීතය උපයෝගි කර ගැනීම එහි ලක්ෂණයකි. කතානාද සිනමාව ආරම්භයේ සිටම චිත්‍රපට පසුබිම් ගායකයින් ලෙස අලුත් වෘත්තියක් ලෝකයට හඳුන්වා දුන් අතර එය ඉන්දියානු කලාපයේ සිනමාවේ වැදගත් ලකුණක් විය. එමෙන්ම මෙම අභිනව වෘත්තිය ලෝකයට හඳුන්වා දෙන්නේ විසිවන සියවසේ දෙවැනි දශකයේ අගභාගයේ ය. ප්‍රථම ඉන්දියානු කතානාද චිත්‍රපටය වූ 'අලම් අරා' චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑ මාස්ටර් විතාල්ට ගී ගැයීමට නොහැකිවූ හෙයින් ආදේශක ගායකයා ලෙස වසීර් මොහමඩ් ඛාන් හඳුන්වා දුන් අතර චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑමට නියමිතව සිටි එවකට ඉන්දියානු සිනමාවේ සුපිරි තාරකාව වූ රූබි මේයර්ස් ට හින්දි ගී ගැයීම කොයි හැටි වෙතත් භාෂාව උච්චාරණය පවා අසීරු වූ හෙයින් ඒ වෙනුවට ගායනය ද රංගනය ද එකසේ හපන් සුබෙයිදා චිත්‍රපටයේ රංගනය සහ ගායනයට යොදා ගැනිණ. දේශිය කතානාද සිනමාවේ ද සිදු වූයේ එය යි. රුක්මණී දේවි 'කඩවුණු පොරොන්දුව' චිත්‍රපටයේ නිළි ගායිකාව වද්දී එහි පෙම්වතා වූ බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න වෙනුවෙන් ( තැටි ගී සඳහා ගායනා කරන ලද්දේ ස්ටැන්ලි මල්ලවආරච්චි ය) ගායනයට හියුගෝ ප්‍රනාන්දු එක් විය.

මෙහොමඩ් ගවුස්, මුත්තුසාමි සහ ලතා

අප ගේ මුල්ම පසුබිම් ගායනයට පිවිසි ගායිකාව අශෝකමාලා චිත්‍රපටයේ ගායනා කරනු ලබන ඉන්දියානු අප්‍රකට ගායිකාවක වන භාග්‍යරතී ය. 'එදා රෑ' මෙරට 13වන කතානාද චිත්‍රපටය යි. එයට පෙර තිර ගත කළ සිංහල කතානාද චිත්‍රපටය අතරින් එකක හැර (සිරිසඟබෝ) සෙසු චිත්‍රපට සඳහා ගීත ඇතළත් වුව ද පසුබිම් ගායිකාවක ලෙස ඉස්මතු වූ ගායිකා නාමයක් හමු නොවේ. මේ අවදියේ රුක්මණී දේවි, ජෙමිනි කාන්තා, මේබල් බ්ලයිත්, ලෙටීෂියා පීරිස් , ආදින් චිත්‍රපට උදෙසා ගී රාශියක් ගායනා කළා ද ඒ සියල්ල ගායනා කරන ලද්දේ ඔවුන් වෙනුවෙන් ම ය. ඒ වෙනත් නිළියන් අරබයා ගායනා කළ ගීත නොවේ. ලතා ගී ගයනුයේ අන් රංගන ශිල්පින් වෙනුවෙන් ය. ඇය ගේ මුල්ම සංගීතවේදියා මොහමඩ් ගවුස් වුව ද චිත්‍රපට සංගීතයෙහි ස්ථාවර වනුයේ ආර්. මුත්තුසාමි ගේ සංගීත නිර්මාණ සමග ය. මුත්තුසාමි අනුකරණ මෙන්ම ස්වතන්ත්‍ර ගී තනු රැසක් චිත්‍රපට උදෙසා නිර්මාණය කළ අතර එයින් මුල් යුගයේ බහුතරයක් ගැයීමේ වරම ලතාට හිමිවූවා ය.එමෙන් ම මුත්තුසාමි විසින් නිර්මාණය කරන ලද ගී බහුතරය පටි ගත කරන ලද්දේ ලංකාවේ දී ය. ඒ, කඳානේ සුන්දර සවුන්ඩ් චිත්‍රගාරයේ ය. නැතහොත් කොළඹ බේබෘක් පෙදෙසේ පිහිටි සිල්වර් ෆෝන් ශබ්දාගාරයේ ය.

ඇන්ජලින් සහ සුජාතා නොපැමිණියේ නම්...

තවත් වසර කිහිපයක ඇවෑමෙන් ඇන්ජලින් ගුණතිලක හා සුජාතා අත්තනායක ඇය සමග තරග නොවන්නට ලාංකික චිත්‍රපට පසුබිම් ගී ගායනයෙහි ලතා හා සම කළ හැකි ගායිකාවක් නොවන්නට ඉඩ තිබිණ. චිත්‍රපට පසුබිම් ගායනය සඳහා විශිෂට ගණයේ බොහෝ ගායක ගායිකාවන් වරින් වර දායක වුව ද ලතා අනන්‍ය වනුයේ ඇයගේ අනන්‍යතාව රඳවා ගනිම්න් සහ අදාල නිළිය ගේ භූමිකාව මෙන්ම ස්වරූප අනන්‍යතාව ද වටහා ගෙන ගී ගයන්නට ඇය සතු අසාමාන්‍ය හැකියාව සලකා බැලීමෙනි. මාතලන් චිත්‍රපටයට ඇතුළත් ගී 12 න් 8 ක් ම ගායනා කරනු ලබන්නේ ඇය විසිනි. මේ ගී සියල්ල ස්වතන්ත්‍ර ගීත ය. එහි ඇය ක්ලැරිස් ද සිල්වා වෙනුවෙන් මෙන්ම රත්නා කුමාරි වෙනුවෙන් ද ගී ගයන්නීය. අපට චිත්‍රපටය නරඹද්දී ලතා අමතක කර අදාළ නිළියන් ද සමූහ රංගනයක එන නළඟනන් ද ඉස්මතු වනු අයුරු දැනෙන්නේ ය.

 

ලතා ගේ ගායනයේ සුවිශේෂත්ව

ඇය ගේ මුල් චිත්‍රපට ගී අතර ඇයගේ ප්‍රතිභාව විමසා බැලිය යුතු අතිශය විශිෂ්ට ගීතාවලිය සං‌දේශයට ඇතුළත්ය.

සුනිල් ශාන්ත ගේ තනු අනුව ආර්. මුත්තුසාමි විසින් සංගීතවත් කළ එහි එන ගී හතෙන් හතරක්ම ලතා ගේ ගායනයෙන් හැඩ වෙයි. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය එහි විටෙක නළඟනක ලෙසත් සෙබල මුළුවක ධෛර්ය වඩමවමින් ද තවත් විටෙක ළයාන්විත දරු නැළවිල්ලකට ද ඇය යොමුවෙයි.යෞවන මදය සමග 'රෑන ගිරා' සහ 'පුන්සද එළියයි' ගයන ඇය හාත්පසින් වෙනස් 'රැජිණ මමයි' ගයන්නී ය. විශිෂ්ටතම දරු නැළවිල්ලක වූ 'සුදට සුදේ වලාකුළයි' ගයන්නී ය. එයට පෙර සුනිල් ශාන්ත ගේ ම තනුවට බී. එස්. පෙරේරා ගේ සංගීතයට රේඛාව චිත්‍රපටය උදෙසා ඇය ගයන 'සීගිරි ළඳක ගේ මල් වට්ටිය' දරු නැළවිල්ල ද සංදේශයේ දරු නැළවිල්ල ද ඇයගේ ගායන පරාසය පිළිබඳ කදිම උදාහරණ සේ ගත හැක්කේ ය. තවත් පසුකලෙක ඇය විසින් ගයනු ලබන 'ආදරයේ රන් විමනේ', (සැනසුම කොතැනද) 'හීන හතක් මැද' (ගැටවරයෝ), 'රොන් සොයා පියඹන සමනලියක සේ' (ආවා සොයා ආදරේ ) යනාදි ප්‍රේමය ද විරහව ද ගෙන එන ගීතාවලියේ ඇය ගේ හඬ විමසා බැලිය යුතුය. ඇය රඟපාන්නී ද නැතහොත් නිළිය එමඟින් රඟපාන්නේ දැයි උක්ත රූප රාමු සහ ශබ්දය ද එකිනෙක විමසා බැලීම අතිශය ප්‍රමාණවත් ය.

 

ලතා ගේ අනුප්‍රාණය ලද රංගන ශිල්පිණියෝ

එදත් සූරයා අදත් සූරයා චිත්‍රපටයේ එන සමාජ ශාලා නළඟනක් (හෙලන් කුමාරි) වෙනුවෙන් ගයන 'මා පාවී යයි' ගීය සමග රූපය විමසා බලන්න. ශෘංගාරය මතුවනුයේ හෙලන් ගේ නර්තනය හෝ ලෙනින් මොරායස් එය රූ ගත කළ නිසාම නොවේ. ලතා ගේ හඬ ඉස්මතු කරන රාගාශ්‍රිත ස්වරය නිසා ය. හතර දෙනාම සූරයෝ එන 'පැතු මල්ලකී ජීවිතේ' ගීතය ද කදිම උදාහරණයකි. එය මුල් ගීය වන 'ඉක්තෙකාම්' චිත්‍රපටයේ එන ලතා මංගේෂ්කාර් ගේ හඬ පරදා යන ස්වරයකි. ලතා චිත්‍රපට පසුබිම් ගීයෙහි අතිශය ජනප්‍රිය ගීතාවලිය හා ඒ පිළිබඳ සැසඳීම පුවත්පතක පිටු කිහිපයකට සීමා කළ හැක්කක් නොවේ. එය පිටු දහස් ගණනක නිබන්ධනයකි. කොටින්ම වංශවතී දවුල්ගල ගේ සිට, අයේෂා වීරකෝන්, නන්දා ලීලානායක, රත්නා කුමාරි ද සිල්වා, උදුලා දාබරේ, මල්ලිකා පිලපිටිය, රෝහිණී ජයකොඩි, ෆ්ලොරීඩා ජයලත්, සන්ධ්‍යා කුමාරි, ක්ලැරිස් ද සිල්වා, රීටා රත්නායක, පුණ්‍යා හීන්දෙණිය, ජීවරාණි කුරුකුලසූරිය, සුවිනීතා වීරසිංහ, අනුලා කරුණාතිලක, තලතා ගුණසේකර, නදීකා ගුණසේකර, සෝබනී අමරසිංහ, නීටා ප්‍රනාන්දු, විජිත මල්ලිකා, සුමිත්‍රා ෆොන්සේකා, මාලිනි ෆොන්සේකා, ශ්‍රියාණි අමරසේන, ශාන්ති ලේඛා. සබීතා පෙරේරා, සුමනා අමරසිංහ. සෝනියා දිසා, මානෙල් වානගුරු, ගීතා කුමාරසිංහ, ස්වර්ණා මල්ලවආරච්චි, වසන්ති චතුරාණි, දිල්හානි අශෝකමාලා, සංගීතා වීරරත්න, අනර්කලී ආකර්ෂා ඇතුළු රංගනවේදිනියන් සියයක් පමණ ඇයගේ ස්වරයෙන් අනුප්‍රාණය ලැබිණ.

IMG 3655

අපේ වාසනාවට ලතා උපන්‌නේ අපේ රටේ ය. ඇගේ අවාසනාවට ඇය ඉපදී සිටියේ අපේ රටේ ය. නොඑසේ වන්නට අන් ලතා වන් අභිබවා මේ ලතා ලෝකයේ බහුමානයට පාත්‍රවනු නොඅනුමාන ය.

 

අරුණ ගුණරත්න

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න