'Agenda 14 චිත්‍රපට උලෙළකට එහා ගිය දෙයක්' - අනෝමා රාජකරුණා

'Agenda 14 චිත්‍රපට උලෙළකට එහා ගිය දෙයක්' - අනෝමා රාජකරුණා
ශ්‍රී ලංකාවේ තරුණ කෙටි සිනමා කරුවන්ගේ සිනමා කෘති ඇගැයීමට ලක් කෙරෙන ප්‍රමුඛතම සිනමා උලෙළ වන Agenda 14 කෙටි චිත්‍රපට උලෙළ, දෙසැම්බර් 04-07 වැනිදා දක්වා කොළඹ ජර්මානු සංස්කෘතික මධ්‍යස්ථානයේදී (Goethe Institute) සහ ප්‍රංශ මිත්‍රත්වය සංගමය (Alliance Francaise) හිදී පැවැත්වේ. මෙවර එය පැවැත්වෙන්නේ අඛණ්ඩව 15වැනි වරටය.

 

උලෙළ සඳහා ඉදිරිපත් වූ කෙටි චිත්‍රපට අතරින් චිත්‍රපට 50ක් ප්‍රදර්ශනය කෙරෙන අතර, විවිධ ඇගැයීම් ඉසව් 15ක් යටතේ සම්මාන පිරිනැමේ.
එම දිනවල පෙ.ව. 10.00- ප.ව. 3.00 දක්වා Goethe Institute හිදී සහ ප.ව. 3.30- ප.ව. 8.00 දක්වා Alliance Francaise හිදී චිත්‍රපට දර්ශන පැවැත්වේ.
මෙවර උලෙළ සඳහා ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 16කින් තරගකරුවන් ඉදිරිපත්ව සිටින අතර උලෙළෙහි ප්‍රධාන සම්මානයක් වන ‘මතු බලාපොරොත්තු සපිරි සිනමාකරුවා සඳහා වන සම්මානය' (අවුරුදු 24 ට අඩු) සඳහා තරුණ සිනමාකරුවෝ 11 දෙනෙක් සුදුසුකම් ලබා සිටිති.


මෙවර ජූරියේ සභාපතිත්වය දරන්නේ ජගත් මනුවර්ණයි. ඔහු 2011 වසරේ පැවැත්වූ Agenda 14 ප්‍රථම සිනමා උලෙළෙහි හා 2012 පැවැත්වූ දෙවන සිනමා උලෙළෙහි හොඳම කෙටි චිත්‍රපටයට හිමි සම්මානය හිමි කරගත් සම්මානලාභියා වීම විශේෂ කරුණකි.

අනෙකුත් ජූරි සභිකයන් වන්නේ කථිකාචාර්ය අතුල සමරකෝන්, සිනමා සංස්කාරක ශිල්පී සමන් ඇල්විටිගල, සිනමා විචාරක මුරලිදරන් මයුරන්, කෙටි චිත්‍රපට අධ්‍යක්ෂ අජන්තා විජේවර්ධන යන අයයි.  දිනුකි පණ්ඩිතරත්න, උලෙළෙහි සම්බන්ධීකාරකවරිය ලෙස කටයුතු කරයි.
නූතන තරුණ නිර්මාණකරුවන් අතර ජනප්‍රිය ප්‍රකාශන මාධ්‍යක් බවට පත්ව ඇති කෙටි චිත්‍රපට කලාව ශ්‍රී ලංකාව තුළ ප්‍රවර්ධනය කිරීම සඳහා පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ සහ ඒ වෙනුවෙන් දිගු කලක් මුළුල්ලේ කැපවී සිටින සිනමාවේදිනියක වන අනෝමා රාජකරුණා, Agenda 14 සිනමා උලෙළෙහි නිර්මාතෘවරියයි. ඇය චිත්‍රපට අභිරක්ෂිකාවක සහ සිනමාකරණය පිළිබඳ ජාත්‍යන්තර තලයේ පුහුණුකාරිනියක ද වෙයි.



Agenda 14 කියන්නෙ
චිත්‍රපට උලෙළකට එහා ගිය දෙයක්
- අනෝමා රාජකරුණා

Agenda 14 කියන නම ටිකක් වෙනස් විදියේ එකක්. ඒ නමෙන් අදහස් කෙරෙන්නෙ මොකක්ද?

ශ්‍රී ලංකාවෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි ව්‍යවස්ථාවෙන් තමයි ප්‍රකාශනයේ නිදහස තහවුරු කරලා තිබෙන්නෙ. ඉතින් අපේ Agenda එක වෙන්නෙ එය ආරක්ෂා කිරීම හා ප්‍රවර්ධනය කිරීම. වඩාත් සවිස්තරව කිව්වොත්, "ඩිජිටල් කතන්දර කීම, කෙටි චිත්‍රපට නිෂ්පාදනය සහ තිරගත කිරීම් සඳහා කාන්තා සහභාගීත්වය කෙරෙහි අවධානය යොමු කරමින් තරුණ චිත්‍රපට නිෂ්පාදකයින් පුහුණු කිරීම සහ ඔවුන්ට සහාය වීම තුළින් ප්‍රකාශනයේ නිදහස සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීමට" තමයි Agenda 14 ආයතනය කැප වෙලා ඉන්නේ. වාර්ෂිකව පැවැත්වෙන Agenda 14 කෙටි චිත්‍රපට උලෙළ, ඒ අරමුණ වෙනුවෙන් අපි නිරත වන ක්‍රියාකාරකම්වල ප්‍රධානම අංගයක්.

කාන්තා සහභාගිත්වය සහ තරුණ චිත්‍රපට නිෂ්පාදකවරුන් කියන කාරණා මෙතැනදි විශේෂයෙන් අවධාරණය කෙරෙනවා?

ඔව්. ලංකාවේ සිනමා ක්ෂේත්‍රයේ, විශේෂයෙන් චිත්‍රපට නිෂ්පාදනය සම්බන්ධයෙන් කාන්තා සහභාගිත්වය සීමිතයි. ඒ නිසා අපි කරන සෑම කටයුත්තකදීම අවම වශයෙන් සියයට 30ක් වත් කාන්තාවන් සඳහා අවස්ථාව ලබා දීම අපේ මූලික ප්‍රතිපත්තියක්. අපි මූලික අවධානය යොමු කරන කාරණා කිහිපයක් තියෙනවා. තරුණ පරම්පරාව එක්ක වැඩ කිරීම, ඔවුන් තෝරාගත් මාධ්‍යය වන කෙටි චිත්‍රපට සඳහා පුහුණුව, නිෂ්පාදනය සහ බෙදාහැරීම සඳහා මැදිහත්වීම, ඒ සඳහා එක්තරා විදියක අවකාශයක් නිර්මාණය කිරීම තමයි ඇජෙන්ඩා 14 කෙටි චිත්‍රපට උලෙළේ අරමුණ.


79919070 2794093504064342 7765016527153135616 n
Agenda 14 පටන්ගන්න පදනම වැටුණෙ කොහොමද?

සිනමාකාරිනියක් හැටියට මේ ක්ෂේත්‍රයේදී මම මුහුණ දුන් අත්දැකීම් තමයි ඊට පදනම් වුණේ. මගේ පළමුවැනි චිත්‍රපටිය හැදුවෙ මීට අවුරුදු 43කට කලින්. එතකොට මට අවුරුදු 17යි. ඒ කාලෙ වෙනකොට මේක ගෑනු දරුවෙකුට උචිත ක්ෂේත්‍රයක් හැටියට කොහොමවත් සැලකුණේ නැහැ. දැනුම ලබාගන්න එකවත්, පහසුකම් සලසාගන්න එකවත් කොහෙත්ම පහසු වුණේ නැහැ. අපිට චිත්‍රපටි හදන්න කවුරුවත් සහාය දුන්නෙ නෑ. පොකට් මනි එකතුකරල තමයි මේව කළේ. රඟපෑවෙ ළඟපාත ඉන්න නැන්දලා මාමලා, අක්කලා අයියලා.

ඒ තරම් අමාරුවෙන් කොහොමහරි චිත්‍රපටි හැදුවත්, ලෝකෙ තියෙන විවිධ උලෙළවලට ඒවා ඉදිරිපත් කරන්නෙ කොහෙමද කියල දැනගන්න විදියක් තිබුණෙ නෑ. එතකොට අන්තර්ජාලයත් නෑ. මොනවහරි තොරතුරු ලැබුණෙ විදෙස් සඟරාවලින්. සමහර සිනමා උළෙලවල් ගැන තොරතුරු අපිට ලැබෙනකොට, චිත්‍රපටි උලෙළ ඉවරත් වෙලා. අපේ සමහර ජ්‍යේෂ්ඨයන්ට ඒ තොරතුරු ලැබුණට ඒව අපිත් එක්ක බෙදාගත්තෙ නෑ. මට පළමුවරට අන්තර්ජාතික සම්මානයක් ලැබුණෙ මම කරපු A bit of paradise කියන චිත්‍රපටයට. ඒක ෆින්ලන්තයෙන් ලැබිච්ච සම්මානයක්. ඒ උලෙළ ගැන තොරතුරු මට ලබා දුන්නෙ ජාතික චිත්‍රපට සංස්ථාවෙ සාමාන්‍යාධිකාරීවරයෙක් වෙලා හිටපු රංජිත් නිව්ටන් ප්‍රනාන්දු මහත්තයා.
ඉතින් මේ අත්දැකීම් එක්ක මම හිතුවා, ඊළඟ පරම්පරාව වෙනුවෙන් කරන්න පුළුවන් වටිනම දේ තමයි, ඔවුන්ට දැනුම ලබා ගැනීමට වගේම එවැනි අවස්ථා සඳහා මග පෙන්වීම කියන එක.
බොන්සොවා ආයතනයේ ප්‍රධාන සංස්කාරක විදියට කටයුතු කළ 2004- 2010 කාලයේදී මම උලෙළක් සංවිධානය කළා, අපිට ලැබුණු රූපවාහිනි ගුවන් කාලයෙන් මිනිත්තු  10ක කාලයක් කෙටි චිත්‍රපටකරුවන් වෙනුවෙන් වෙන් කළා, ඔවුන්ගේ නිර්මාණ ප්‍රදර්ශනය කළා, ඔවුන් එක්ක සම්මුඛ සාකච්ඡා කළා. ඒ වගේම තරුණ නිෂ්පාදකවරුන් පුහුණු කළා. ඉතින් එතනදි ගත්ත අත්දැකීම් එක්ක, ඊට වඩා පුළුල් තලයකට යන්න තමයි ඇජෙන්ඩා 14 පටන්ගත්තෙ.


481210030 1171237278340645 6920090795094424514 n
ඇජෙන්ඩා 14 මෙතෙක් ආ දුර දිහා හැරිලා බැලුවොත්?

අපි Agenda 14 ආයතනය පටන් ගත්තෙ 2011 වසරේදී. ඒත් එක්කම Agenda 14 කෙටි චිත්‍රපට උලෙළ පටන්ගත්තා. මේ වෙද්දි අපි අඛණ්ඩව 14 වතාවක් මේ උලෙළ පවත්වලා තිබෙනවා. මෙවර පැවැත්වෙන්නේ 15 වැනි වරට. රජයටවත් වෙන කිසිම පාර්ශ්වයකටවත් මෙතරම් කාලයක් ඒ විදියට අඛණ්ඩව සිනමා උලෙළක් පවත්වගෙන යන්න හැකි වෙලා නැහැ. කොවිඩ් සමයේ හෝ ආර්ථික අර්බුදයත් සමග ඇති වූ අරගලය සමයේ පවා අපි මේක නතර කළේ නැහැ. ඒ වගේම, මේ ක්ෂේත්‍රයට අපේ මැදිහත්වීම සම්මාන උළෙලට පමණක් සීමා වෙන්නෙ නැහැ. ලංකාවේ සිනමාවට ඊළඟ පරම්පරාව පුහුණු කිරීම අපේ ප්‍රධාන අරමුණක්. 2015 ඉඳලා අපි ලංකාව පුරා පුහුණු වැඩසටහන් රාශියක් පැවැත්වුවා. උතුරේ, දකුණේ, මධ්‍යම පළාතේ උතුරු නැගෙනහිර ආදී සියලුම ප්‍රදේශවල. එහි ප්‍රතිඵලයක් විදියට, මේ වෙනකොට දිවයිනේ සියලුම පළාත්වලින් උලෙළට සිනමා කෘති ඉදිරිපත් වෙනවා.                                                                                                                                                                          මේ වන විට අපි කෙටි චිත්‍රපට 100කට ආසන්න සංඛ්‍යාවක් නිෂ්පාදනය කරල තියෙනවා. ඒවාට ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණය ලැබිලා තියෙනවා. ඉතින් ඒක සංතෝසයට කාරණාවක්. මේ වෙනකොට ඒ අවුරුදු 15 ඇතුළත පුහුණු වෙච්ච, අපිත් එක්ක වැඩ කරපු තරුණයින් සිනමාකරුවන් බවට පත් වෙලා තියෙනවා. අපේ ඇජෙන්ඩා 14 කෙටි චිත්‍රපට උළෙලේ ජූරියේ සාමාජිකයන් 5දෙනාගෙන් දෙන්නෙක්, එදා තරුණ වියේදී අපිත් එක්ක වැඩ කරන්න පටන්ගෙන, මේ වන විට ක්ෂේත්‍රයේ යම් දුරක් ආපු ජ්‍යෙෂ්ඨයෝ. මං හැම තිස්සෙම විශ්වාස කරන දෙයක් තමයි අපි යම්කිසි දෙයක් අද කරමින් ඉන්නව නම්, ඒ බැට්න් එක අපි ඊළඟ පරම්පරාවට පාස් කරන්න ඕන. අපි කරමින් ඉන්න දේත් අපිත් එක්කම පස් යට වැළලිලා යනව නම් ඒකෙ කිසිම තේරුමක් නෑ.

480760655 1171387681658938 9145371500225173125 n


උලෙළට ඉදිරිපත් වන කෙටි චිත්‍රපටි ඇගයීමට ලක් කෙරෙන්නේ කවර කාණ්ඩ යටතේද?

මේ වන විට අපේ උලෙළේදී  සම්මාන 15ක් විතර පිරිනැමෙනවා. හොඳම කෙටි චිත්‍රපටය, ජූරියේ සම්මානය, සුනිලා අබේසේකර අනුස්මරණ මානව හිමිකම් සම්මානය, හොඳම සමාජභාවී සංවේදී චිත්‍රපටය, හරිත සම්මානය, හොඳම පර්යේෂණාත්මක චිත්‍රපටය, හොඳම ක්ෂුද්‍ර කෙටි චිත්‍රපටය, හොඳම සජීවිකරණ කෙටි චිත්‍රපටය, හොඳම කෙටි වාර්තා චිත්‍රපටය, වඩාත්ම ඉදිරි අපේක්ෂා සහිත චිත්‍රපට නිෂ්පාදකයා (අවුරුදු 24 ට අඩු), හොඳම සංස්කරණය, හොඳම කැමරාකරණය, හොඳම රංගනය, හොඳම නිෂ්පාදනය සහ ප්‍රේක්ෂක තේරීම් සම්මානය (චිත්‍රපට දර්ශනවලදී ලබාගත් ප්‍රේක්ෂක ඡන්ද අනුව) යන සම්මාන ඊට ඇතුළත් වෙනවා. හොඳම නිෂ්පාදනය හැර ඉහත සඳහන් සියලුම සම්මාන මෙවර පිරිනැමීමට නියමිතයි.

488446719 1203908825073490 571290906717951699 nලංකාවේ අයිතිවාසිකම් සම්බන්ධ සාකච්ඡාවට කෙටි චිත්‍රපට වගේ මාතෘකාවක් එකතු කරන්නෙ කොහොමද කියන එක, අපි විශේෂයෙන් අවධානය යොමු කරන කාරණයක්. ඒ වගේම චිත්‍රපටිකරුවන් අතර ජෙන්ඩර්- නැත්නම් සමාජභාවය පිළිබඳ යම් විදියක දැනුවත්භාවයක් ඇති කරන්නෙ කොහොමද කියන එකත් අපි සොයනවා. මොකද ජෙන්ඩර් සෙන්සිටිවිටි කියන එක නැත්නම් සමාජභාවය පිළිබඳ සංවේදීකම හුඟක් සිනමාකරුවන් තුළ නෑ. අපි ඒ සඳහා තරග අංශ දෙකක් ඇතුළත් කළා. ඒ එක්කම පරිසරය පිළිබඳ චිත්‍රපට සඳහා හරිත සම්මානය, ඒ වගේම මයික්‍රො ෂෝට්, එක්ස්පෙරිමන්ටල් වගේ කාණ්ඩ සඳහාත්, රංගනය, කැමරාකරණය වගේ හැම අංශයකටමත් සම්මාන දෙන්න අපිට පුළුවන් වුණා. ඒ හරහා මේ වෙනකොට පරිපූර්ණ සිනමා උලෙළක තත්ත්වයට Agenda 14 පත් වෙලා.                           

ඔබ කිව්ව විදියට ඇජෙන්ඩා 14 එක්ක විශාල තරුණ පිරිසක් වැඩ කරලා තියෙනවා. මේ වෙද්දි ඒ අය ජ්‍යෙෂ්ඨයින් බවටත් පත් වෙලා. ඒ වගේම ඔබ අලුත්ම අය එක්කත් වැඩ කරනවා. ඒ අත්දැකීම ඔබට දැනෙන්නෙ කොහොමද?

 

5 152

ඔව්. හැම තිස්සෙම මං එක්ක වැඩ කරන්නෙ බොහොම තරුණ ටීම් එකක්. ඇජෙන්ඩා 14 චිත්‍රපට උලෙළත්, යාපනය අන්තර්ජාතික සිනමා උලෙළත් සංවිධානය කරන්නෙ ඔවුන්. අපට සම්බන්ධ වෙන අය, දිගු කාලයක් අපිත් එක්ක වැඩ කරනවා. සිනමාව ගැන හැකියාවන් වර්ධනය කර ගන්නවා විතරක් නෙවෙයි, ඊට වඩා බොහෝ දේවල් ඒ වැඩ කිරීම එක්ක ඔවුන්ගෙ ජීවිතවලට එකතු කර ගන්නවා.

ලංකාවේ අයිතිවාසිකම් සම්බන්ධ සාකච්ඡාවට කෙටි චිත්‍රපට වගේ මාතෘකාවක් එකතු කරන්නෙ කොහොමද කියන එක, අපි විශේෂයෙන් අවධානය යොමු කරන කාරණයක්. ඒ වගේම චිත්‍රපටිකරුවන් අතර සමාජභාවය (Gender) පිළිබඳ යම් විදියක දැනුවත්භාවයක් ඇති කරන්නෙ කොහොමද කියන එකත් අපි සොයනවා. මොකද හුඟාක්ම ජෙන්ඩර් සෙන්සිටිවිටි කියන එක නැත්නම් සමාජභාවය පිළිබඳ සංවේදීකම හුඟක් සිනමාකරුවන් තුළ නෑ. විශේෂයෙන්ම අතිවිශාල වශයෙන් මානව හිමිකම් උල්ලංඝනයන් සිද්ධ වෙන රටක ඒක අත්‍යවශ්‍ය දෙයක්. සිනමා උලෙළේත් අපි ඒ සඳහා තරග අංශ දෙකක් ඇතුළත් කරලා තියෙනවා.

තරුණ පරම්පරාවට ඕන මොකක්ද කියන එක හැම තිස්සෙම ඒ පරම්පරා එක්ක සංවාදයෙන් තීරණය කරන්න ඕන. අපි හැම විටම ඔවුන් එක්ක සාකච්ඡා කරලා තමයි තීරණ ගන්නෙ. සියලු ජනවර්ග සහ විවිධ අනන්‍යතා සහිත තරුණ ප්‍රජාව එකට වැඩ කිරීමෙන් ඔවුන්ට එකිනෙකා අවබෝධ කරගන්න අවස්ථාවක් ලැබෙනවා. අපි ඔවුන් එක්ක ඉතාම විවෘත සහ පුළුල් සංවාදයක් ගොඩනගල තියනවා. සමහරවිට ඔවුන් කෙටි චිත්‍රපටි කියල හදන ඒවා ඇත්තටම කෙටි චිත්‍රපටිද? අපි ඒ ගැන පවා විවෘතව සංවාද කරනවා. ඒ හැම දේකම අරමුණ වෙන්නේ ඔවුන් දැනට ඉන්න තැනින් තව බොහෝ දුරක් ඉදිරියට යන්න මග පෙන්වන එක.


සංවාදය
ප්‍රමෝද්‍යා සිරිවර්ධන

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න