ඇය දෙස පිටතින් බලන කෙනකුට පෙනුණේ සාම්ප්‍රදායික ඉන්දියානු බිරිඳක්. අත් දිගට ඇඳපු සාරිය, නළලට වැටුණු පොල්තෙල් ගෑවුණු කොණ්ඩය, කරේ තිබුණු රත්තරන් මාලය... ඒත් ඒ සාරි පොට අස්සේ සැඟවිලා තිබුණේ ගිනි කන්දක්.
ඇය නමින් කමලා දාස් (Kamala Das). මලයාලම් පාඨකයින්ට ඇය මාධවිකුට්ටි. ලෝකය ඇයව දන්නේ "තමන්ගේ අසහන සහ ආශා ගැන ලැජ්ජාවක් නැතුව ලියපු ගැහැනිය" විදියට.
මේ තියෙන්නේ ඇය ගැන ලියවෙන දීර්ඝ, සංවේදී සටහනක්.
කමලා දාස්
1.අවුරුදු 15 දී අහිමි වූ ජීවිතය
කමලා ඉපදුණේ කේරළයේ ඉහළ පෙළේ සාහිත්‍යමය පවුලක. අම්මා ප්‍රසිද්ධ කිවිඳියක් වුණාට කමලාට අම්මගෙන් ආදරයක් ලැබුණේ නෑ. ඒ අඩුවත් එක්කම තමයි වයස අවුරුදු 15 දී ඇගේ දෛවය තීරණය වෙන්නේ. දෙමව්පියන් ඇයව බලෙන් ම වගේ කසාද බන්දලා දෙනවා. මනාලයා ඇයට වඩා ගොඩක් වැඩිමහල් බැංකු නිලධාරියෙක් (මාධව දාස්). අවුරුදු 15 ක පුංචි කෙල්ලෙක්, මැදි වයසේ පිරිමියෙක් එක්ක එක කාමරයක තනි වෙද්දී දැනෙන බිය සහ වේදනාව ගැන හිතන්න. ඇය පසුකාලීනව මෙහෙම ලියනවා:

"ඔහුට මගේ හැඟීම් ගැන වැඩක් තිබුණේ නෑ. ඔහුට ඕන වුණේ මගේ ශරීරය විතරයි. ඔහු මගේ සිරුර මත හැසිරුණේ මගේ කැමැත්තකින් තොරව."
ඇගේ විවාහය ඇතුලේ "ආදරය" තිබුණේ නෑ. තිබුණේ "රාජකාරියක්" විතරයි. සැමියා කාර්යාලයට ගියාම, දරුවන් පාසල් ගියාම දැනෙන දරාගත නොහැකි පාළුව මකාගන්න ඇය කළේ ලියන එක.
2. කුස්සියේ සිට ලියූ විප්ලවය
ඇය ලිව්වේ රෑට. පවුලේ හැමෝම නිදාගත්තාම කුස්සියේ මේසය උඩ ඉඳගෙන ඇය තමන්ගේ හිතේ තියෙන ගින්දර අකුරු කළා; ඇය ලිව්වේ මල්, ගස්, වැල් ගැන නෙවෙයි.
*ගැහැනියකගේ ලිංගික ආශාව (Female Desire)
*ඔසප් වීම සහ දරු ප්‍රසූතියේ වේදනාව
*පිරිමියා විසින් ගැහැනියව යටපත් කිරීම
යනාදිය පිළිබඳ ඇය නිර්භීතව ලිව්වා. "පිරිමියෙක් එක්ක යහනක ඉන්න කොට ගැහැනියකට දැනෙන පිළිකුල සහ ආශාව" ඇය පදවලට පෙරළුවා. ඉන්දියානු පිරිමි සමාජය මේකෙන් කම්පා වුණා.
3. "My Story" සහ ලෝකය කැලඹීම
1976 දී ඇය "My Story" (මගේ කතාව) නමින් ඇගේ ස්වයං චරිතාපදානය ලියනවා. මේක නිකන් ම පොතක් නෙවෙයි, පරමාණු බෝම්බයක් වගේ වුණා. කසාද බැඳපු ගැහැනියක් වෙලා ඉද්දී, වෙනත් පිරිමින් එක්ක තිබුණු සම්බන්ධතා ගැන ඇය මේ පොතේ හෙළි කළා. "මට මගේ සැමියාගෙන් නොලැබුණු ආදරය මම වෙන තැන්වලින් හෙව්වා..." කියලා ඇය කිව්වා. සමාජය ඇයට "වේසිය", "නරක ගැහැනිය" කියලා බැන්නා. ඇගේ ම පවුලේ අය ඇයව ප්‍රතික්ෂේප කළා. පස්සේ කාලෙක ඇය කිව්වේ "මේ පොතේ තියෙන දේවල් වලින් භාගයක්ම මම මවාගත්ත ඒවා (Fiction)" කියලා. හැබැයි ඒ වෙද්දී ඒ පොත ඉන්දියානු ගැහැනියගේ යටපත් කළ හඬ අවදි කරලා ඉවරයි.

4. කමලා දාස්, 'කමලා සුරයියා' වීම (ආගම් මාරුව)
ජීවිතේ සැඳෑ සමයේ, එනම් වයස අවුරුදු 65 දී ඇය ආයෙත් ලෝකය ම පුදුම කළා. හින්දු කාන්තාවක් විදියට හිටපු ඇය හදිසියේම ඉස්ලාම් ආගම වැළඳගෙන "කමලා සුරයියා" බවට පත් වුණා.
ඇයි ඇය එහෙම කළේ?
මේ ගැන කටකතා ගොඩක් තියෙනවා. ප්‍රසිද්ධම කතාව තමයි, ඇයට වඩා වයසින් බෙහෙවින් බාල මුස්ලිම් ජාතික පෙම්වතෙක් (සාදික් අලි) ඇයට හිටියා කියන එක. ඔහු ඇයව විවාහ කරගන්න පොරොන්දු වුණා කියලත්, ඒ නිසා ඇය ආගම මාරු කළා කියලත් කියනවා. නමුත් අවසානයේ ඒ විවාහය සිද්ධ වුණේ නෑ. කෙසේ වෙතත් ඇය කිව්වේ වෙනස්ම කතාවක්:
"මට ඕන ආරක්ෂාව... හින්දු දහමේ නැති ආරක්ෂාවක්, රැකවරණයක් මුස්ලිම් කාන්තාවට ලැබෙනවා. බුර්කාව ඇතුලේ මට නිදහසක් දැනෙනවා."
හින්දු අන්තවාදීන් ඇයට මරණ තර්ජන එල්ල කළා. "ඇයි උඹ ආගම මාරු කළේ?" කියලා අහද්දී ඇය කිව්වේ "මම මැරෙන්න කැමති නෑ.. මට ආදරය ඕන" කියලා විතරයි.

5. අවසානය
තමන්ගේ ජීවිත කාලය ම "ආදරය" හොයමින් ගත කරපු මේ අපූරු ගැහැනිය 2009 මැයි මාසයේ දී පූනේ රෝහලක දී මිය යනවා. ඇගේ අන්තිම කැමති පත්‍රයට අනුව, කේරළයේ "පාළයම් ජුමා මස්ජිද්" පල්ලියේ දී පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව ඇයව භූමදානය කළා. ඒ වෙද්දීත් ඇගේ දේහය භූමදානය කරනවට එරෙහිව පිරිසක් විරෝධතා දැක්වුවා. නමුත් අවසානයේ ඇය පැතූ ඒ "මුස්ලිම් ගස සෙවණේ" ඇය සැතපුනා.
ඇය අපට ඉගැන්නුවේ මොකක්ද?
ගැහැනියකට තමන්ගේ ශරීරය ගැන, තමන්ගේ ආශාවන් ගැන කතා කරන්න අයිතියක් තියෙනවා. ලෝකය මොනවා කිව්වත් තමන්ට ඕන විදියට ජීවත් වෙන්න ඕන කියන එක ඇය ඔප්පු කළා.
"මම පාපිනියක් වෙන්න ඇති.. මම සාන්තුවරියක් වෙන්න ඇති.. ඒත් මම ගැහැනියක්!" - කමලා දාස්
"ආදරය කියන්නේ හිරගෙයක් නෙවෙයි.. ඒක නිදහසක්.." - ඇය ලෝකයට ඉගැන්නුවේ ඒ පාඩමයි.
මූලාශ්‍ර සහ වැඩිදුර කියවීම්:
My Story - Kamala Das (Autobiography, 1976).
The Love Queen of Malabar: Memoir of a Friendship with Kamala Das - by Merrily Weisbord (2010).
BBC News Archives - "India's controversial poet Kamala Das" (2009).
The Hindu - Articles on Madhavikutty's conversion and literature.

(සටහන - Chanu Nimesha)
Digital creator
උපුටා ගැනීම - Chanu Nimesha ගේ ෆේස්බුක් පිටුවෙන්...
November 27

